අඟුරු නොකා දුම් නොදමා ජයට දුවන යකඩ යකා

මින් වසර කිහි­ප­ය­කට පෙර ඉදි කිරී­මට සැල­සුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය යනු දුම්රි­යක් නොවේ.’ ඔබට මෙවැ­න්නක් අස­න්නට ලැබු­ණොත් මවි­ත­යට පත් නොවේ­විද? ඇත්තෙන්ම ‘දුම්රිය’ යන වච­නය අප පොදුවේ ‘ට්‍රේන්’ හෝ ‘රේල්’ ලෙස හඳු­න්වන ප්‍රවා­හන මාධ්‍ය­යට සුදුසු නොවේ. අනෙක් අතට රේල් හා ට්‍රේන් යනු දෙව­ර්ග­යකි. ගැල් පෙළක් වන් වාහ­න­යක් ‘ට්‍රේන්’ වන අතර, එහි මාර්ග පද්ධ­තිය ‘රේල්’ වෙයි. කොළඹ සැහැල්ලු දුම්රිය ඒ අනුව දුම් දම­මින් යන රියක් නොව, රේල් මඟක් ඔස්සේ මිනි­සුන් සංච­ල­නය කරන, විදුලි බල­යෙන් ක්‍රියා­ත්මක වන මාධ්‍ය­යකි. මෙන­යින් ගත් කල ‘මෙට්‍රෝ දුම්රිය’ හෝ ‘ට්‍රෑම් දුම්රිය’ යනු­වෙන් හැඳි­න්වෙන වාහ­නද ‘මෙට්‍රෝ’ හෝ ‘ට්‍රෑම්’ ලෙස පම­ණක් හැඳි­න්වීම වඩාත් තාර්කි­කය. එහෙත් දැන් අපට එම වච­න­ව­ලින් ගැල­වී­මට නොහැ­කිය.

 

මම ප්‍රවා­හන සේවා පිළි­බඳ විද්ව­තෙක් නොවෙමි. එහෙත් ප්‍රවා­හන යටි­තල පහ­සු­කම් පිළි­බඳ ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ වෘත්ති­ක­යකු ලෙස මාගේ ජීවි­තය මහා­ද්වීප කිහි­ප­යක් හරහා විහිදී ගියේය. ශ්‍රී ලංකාවේ සැල­සුම් මට්ටමේ තිබුණු ව්‍යාපෘ­ති­වල සිට, තුර්කියේ ක්‍රියා­කාරි අධි­වේගි දුම්රිය ඉදි­කි­රීම් දක්වාත්, කටාර් රාජ්‍යයේ නව මෙට්‍රෝ ප්‍රවා­හන පද්ධ­තිය හා බැඳුණු අධි­වේගි මාර්ග දක්වාත් එය සම්බන්ධ වෙයි. අනෙක් අතට කසා­ක්ස්තාන් ස්ටෙප් තණ­බිම හරහා ඇදෙන අති­දීර්ඝ දුම්රිය ගැල් දෙස බල­මින් දුම්රිය හරස් මංවල රස්ති­යාදු වීමේ ආස්වා­දය විඳ ඇත්තෙමි. ඊට අම­ත­රව මගේ හුදු කුතූ­හ­ලය නිසාම ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් හා සිඩ්නි නග­ර­වල නග­රා­න්තර දුම්රිය, සැහැල්ලු දුම්රිය හා මෙට්‍රෝ පද්ධති ගැන සෑහෙන නිරී­ක්ෂණ ප්‍රමා­ණ­යක් කළෙමි. ඒ අත්දැ­කීම් මට අපූරු පාඩම් කිහි­ප­යක් කියා දුන්නේය.

 

දුම්රිය ප්‍රවා­හ­නය යනු හුදෙක් පීලි මත දුවන පෙට්ටි පෙළක්ම නොවේ. එය එක් එක් රටක ආර්ථි­කය, නාග­රික අව­ශ්‍යතා සහ භූගෝ­ලීය ස්වභා­වය මත තීර­ණය වන, ඉතා සංකීර්ණ තාක්ෂ­ණික කලා­වකි. විවිධ රට­වල දුම්රිය පද්ධති පිළි­බඳ මගේ අත්දැ­කීම් එකි­නෙ­කට වෙනස් වුවත්, ඒ සැමෙ­කක්ම නිර්මා­ණය වී ඇත්තේ ඒ ඒ රට­ව­ලට ආවේ­ණික මෙහෙ­යුම් අව­ශ්‍යතා සහ ආර්ථික යථාර්ථ පද­නම් කර­ගෙ­නය. අනෙක් අතට අධි­වේගි දුම්රිය, මෙට්‍රෝ හා සැහැල්ලු දුම්රිය යන ඒවා අතර වෙනස කුම­ක්දැයි පැහැ­දිලි කර­න්නට මට දැන් පුළු­ව­න්ක­මක් තිබේ.

ශ්‍රී ලංකාවේ කොළඹ නග­රය නවී­ක­ර­ණය සඳහා යෝජනා වූ කොළඹ සැහැල්ලු රේල් සංක්‍ර­මණ හෙවත් CLRT (Colombo Light Rail Transit) ව්‍යාපෘ­ති­යට සම්බන්ධ වීමට මට අව­ස්ථාව ලැබු­ණත්, අවා­ස­නා­ව­කට එය සැල­සුම් මට්ට­මෙන් ඔබ්බට නොගි­යේය. එහෙත් ඒ මූලික සැල­සු­ම්ව­ලදී නාග­රික ගම­නා­ග­ම­නය නවී­ක­ර­ණය කිරී­මට තිබූ දැඩි අව­ශ්‍ය­තාව මනාව පැහැ­දිලි විය. මේ අත්දැ­කීම් ඇසු­රෙන් මා උගත් ප්‍රධා­න­තම පාඩම නම්, නග­ර­ය­කට වඩාත්ම ගැළ­පෙන දුම්රිය වර්ගය තෝරා­ගැ­නීම යනු සූදු­වක් නොවන බවයි. ඒ සඳහා පිරි­වැය, ධාරි­තාව, වේගය සහ අනා­ගත නාග­රික වර්ධ­නය යන සියල්ල ඉතා සියුම් ලෙස තුල­නය කළ යුතුය.

 

මා 2022 වස­රේදී ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නුවර කළ සංචා­රය දුම්රිය පද්ධති කිහි­ප­යක ප්‍රායෝ­ගික වෙන­ස්කම් වට­හා­ගැ­නී­මට මට මනා රුකු­ලක් විය. එහිදී මට දැක­ගත හැකි වූ එක් සුවි­ශේෂ අංග­යක් වූයේ දැන් ඉවත් කර ඇති සිඩ්නි මොනෝ­රේල් පද්ධ­ති­යයි. 1980 දශ­කය අගදී ඉදි වූ මෙය, 2013දී වසා­දැ­මී­මට තීර­ණය විය. මේ සිදු­වීම කියා­පාන්නේ පද්ධ­ති­යක් කොත­රම් ආක­ර්ෂ­ණීය වුවත් එය පොදු ප්‍රවා­හන ජාලය සමඟ මනාව බද්ධ නොවන්නේ නම් ඊට පැවැ­ත්මක් නැති බවයි. මීට ප්‍රති­වි­රු­ද්ධව, සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ක්‍රම­වත්ව වර්ධ­නය වන අයුරු මම දුටු­වෙමි. මෙට්‍රෝ හා සාමාන්‍ය දුම්රිය සේවා මෙන්ම මුහුදු යාත්‍රා සේවාද ඒ නග­රයේ ප්‍රවා­හන අව­ශ්‍යතා යහ­මින් සපු­රා­ලයි.

 

එවැ­නිම වූ බහු­විධ ප්‍රවා­හන ක්‍රම සහිත නග­ර­යකි, දැනට මා ජීවත් වන තුර්කියේ ඉස්තා­න්බුල් නග­රය. මා එහි අධි­වේගි දුම්රිය ව්‍යාපෘ­ති­යක උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස කට­යුතු කරමි. ඒ ව්‍යාපෘ­ති­යෙන් කෙරෙන්නේ ආසි­යාව හා යුරෝ­පය යා කරන පැරණි අන්තර් මහා­ද්වී­පික මාර්ග­යට සමා­න්ත­රව නව අධි­වේගි මාර්ග­යක් ඉදි කිරී­මය. මෙය මීට පෙර මා දුටු නාග­රික දුම්රිය පද්ධ­ති­ව­ලට වඩා හාත්ප­සින්ම වෙනස් යෝධ ව්‍යාපෘ­ති­යකි. අධි­වේගි දුම්රිය යනු රටක දිස්ත්‍රික්ක හෝ ප්‍රධාන නගර අතර සබ­ඳ­තා­වයි. සාමා­න්‍ය­යෙන් පැයට කිලෝ­මී­ටර් 200 ඉක්ම­වන වේග­ය­කින් දිවෙන මේවා, ගුවන් ගමන් සමඟ පවා තරග කළ හැකි මට්ටමේ පවතී. තුර්කියේ අන්කාරා සහ ඉස්තා­න්බුල් වැනි ප්‍රධාන නගර යා කර­මින් සිදු කරන මේ ප්‍රවා­හන විප්ල­වය එරටේ ආර්ථි­කය මෙන්ම ජන­තා­වගේ ජීවන රටා­වද සාධ­නීය ලෙස වෙනස් කර­මින් පවතී.

 

ලෝකයේ පව­තින දුම්රිය පද්ධති ගැන කතා කිරී­මේදී ඒවායේ ක්‍රියා­කා­රි­ත්වය අනුව වර්ග කිහි­ප­ය­කට බෙදා හඳු­නා­ගත හැකිය. අප සාමා­න්‍ය­යෙන් දකින සාම්ප්‍ර­දා­යික දුම්රිය හෙවත් හෙවි රේල් යනු ඕනෑම රටක දුම්රිය ප්‍රවා­හන ජාලයේ කොඳු නාර­ටි­යයි. වානේ පීලි මත දිවෙන මේවා මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවා­හ­න­ය­ටද යොදා­ගන්නා අතර, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ දුම්රිය ජාල­යම මේ වර්ග­යට අයත්ය. ඉන් ඔබ්බට ගිය විට හමු වන අධි­වේගි දුම්රිය පද්ධති නිර්මා­ණය කර ඇත්තේ දිගු දුරක් ඉතා වේග­යෙන් ගමන් කිරී­ම­ටයි. ජපා­නයේ ෂින්කා­න්සෙන් බුලට් දුම්රිය සහ ප්‍රංසයේ TGV පද්ධති මීට කදිම උදා­හ­රණ වන අතර, මේ පද්ධති ඉදි කිරීම ඇර­ඹෙන්නේ 1960 දශ­ක­යේ­දිය.

නාග­රික ප්‍රවා­හ­නය ගැන සලකා බැලී­මේදී මෙට්‍රෝ පද්ධති සතු වන්නේ සුවි­ශේෂ ස්ථාන­යකි. නග­ර­යක් ඇතු­ළත ඉතා විශාල ජන­තා­වක් කෙටි වේලා­ව­කදී ප්‍රවා­හ­නය කිරී­මට භාවිත කරන මේවා බොහෝ විට පොළොව යටින් හෝ ගුවන් පාලම් මතින් දිවෙන්නේ මාර්ග තද­බ­ද­යට සම්බන්ධ නොවන පරි­දිය. ලංඩන් සහ නිව්යෝර්ක් වැනි නග­ර­වල ප්‍රවා­හ­නයේ ජීවය වන්නේ මෙවැනි මෙට්‍රෝ පද්ධති වේ. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ඉදි කර­න්නට ගිය වර්ගයේ සැහැල්ලු දුම්රි­ය­ව­ලට එනම ලැබී ඇත්තේ අඩු මගී ධාරි­තාව හා නම්‍ය­ශී­ලි­බව නිසාය. මෙට්‍රෝ පද්ධ­ති­ය­කට වඩා විය­දම අඩු බැවින් බොහෝ රට­වල් වර්ත­මා­නයේ සැහැල්ලු දුම්රිය දෙසට නැඹුරු වන අයුරු දැක­ගත හැකිය. අලු­තින් ඉදි වන අධි­වේගි දුම්රිය, මෙට්‍රෝ හා සැහැල්ලු දුම්රිය විදුලි බල­යෙන් ධාව­නය වෙයි. බොහෝ දෙනකු නොදන්නා කරු­ණක් වන්නේ ශ්‍රී ලංකාවේ ඉදි කර­න්නට සැල­සුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘ­තිය දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පාල­නය නොවන ප්‍රවා­හන ජාල­යක් බවයි. එය නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට සම්බන්ධ වෙනම ආය­ත­න­යක් මඟින් පාල­නය කර­න්නට නිය­මි­තව තිබිණි. අනෙක් අතට, ට්‍රෑම් දුම්රිය මාර්ග බොහෝ විට පාල­නය වන්නේ පළා­ත්පා­ලන ආය­තන මඟිනි. සාමාන්‍ය මහාමාර්ගය සමඟ ඉඩ­කඩ බෙදා­ගෙන දුවන ඉස්තා­න්බුල් ට්‍රෑම් ජාලය පාල­නය කරන්නේ ඉස්තා­න්බුල් මහා නගර සභා­වය. 1900 අවු­රුද්දේ සිට 1960 දක්වා ක්‍රියා­ත්මක වූ කොළඹ ට්‍රෑම් සේවා­වද පසු­කා­ලී­නව පාල­නය කර තිබුණේ කොළඹ මහා නගර සභා­වය.

 

සැහැල්ලු දුම්රිය ගැන කතා කර­න්නට වසර කිහි­ප­ය­කට පෙර ශ්‍රී ලංකාවේ මොනෝ රේල් ජාල­යක් ඉදි කිරීම ගැනද කතා බහක් පැව­තිණි. මොනෝ­රේල් පද්ධ­ති­වල ඇති අනා­ග­ත­වාදි පෙනුම නිසා බොහෝ දෙනා ඊට කැමැ­ත්තක් දක්වති. තනි විශාල පීල්ලක් මත ධාව­නය වන මේවා මහා මාර්ගයේ තද­බ­ද­යෙන් නිද­හස් වුවද, එහි ඇති ප්‍රධා­න­තම දුර්ව­ල­තාව ලෙස සම­හ­රුන් දකින්නේ අනෙ­කුත් දුම්රිය පද්ධති සමඟ බද්ධ කිරී­මට ඇති අප­හ­සු­වයි. පෙර කී පරිදි සිඩ්නි නග­රයේ අලං­කා­ර­යට දායක වූ මොනෝ­රේල් පද්ධ­තිය ගලවා ඉවත් කර ඇති වග මට 2022 දෙසැ­ම්බ­ර­යේ­දීද දකි­න්නට ලැබිණි.

 

නගර ප්‍රසා­ර­ණය වන විට සහ ලෝකය දියුණු වන විට, අප හමුවේ ඇති සැබෑ අභි­යෝ­ගය වන්නේ දුම්රි­යක්, ට්‍රෑම් රථ­යක් හෝ මෙට්‍රෝ­වක් අතරෙන් එකක් තෝරා­ගැ­නීම පම­ණක් නොවේ. අප කළ යුත්තේ අනා­ගත අර­මුණු හා ප්‍රවා­හන අව­ශ්‍ය­තා­ව­­ලට ගැළ­පෙන, අනෙ­කුත් ප්‍රවා­හන මාධ්‍ය සමඟ බද්ධ වූ සහ ජන­තා­වට සැබෑ ගුණා­ත්මක උත්තේ­ජ­න­යක් ලබා දෙන පද්ධ­ති­යක් සැල­සුම් කිරී­මයි.

 

සම­හර විට අලං­කාර පාල­මක් මතින් දුවන නවීන සැහැල්ලු දුම්රි­ය­කට රට­වැ­සි­යන්ගේ, සංචා­ර­ක­යන්ගේ හා ආයෝ­ජ­ක­යන්ගේ මාන­සි­ක­ත්වය වඩා දියුණු සුභ­වාදි මට්ට­ම­කට එස­විය හැකි අතර, එම­ඟින් ලැබෙන විභ­වය සාමාන්‍ය පිරි­වැය ප්‍රති­ලාභ විම­සු­ම­කින් තේරුම් කර­ග­න්නට බැරි විය හැකිය.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...