‘ග්‍රෑන්ඩ් බසාර්’ වීදි 60ක්! කඩ 4,000ක්! වර්ග අඩි ලක්ෂ 3ක්!

2024 ඔක්තෝබරයේ සිට පුරා වසරකට අාසන්න කාලයක් මා සිළුමිණට සතිපතා ‘ඉස්තාන්බුල් දිනපොත’ තීරුලිපි මාලාව ලියද්දී මගේ මිතුරන් කිහිප දෙනකුම ඇසුවේ ‘අර චිර ප්‍රසිද්ධ මාකට් දෙක; නැත් නම් ග්‍රෑන්ඩ් බසාර් හා ඊජිප්තු බසාර් ගැන ලියන්නේ නැත්තේ ඇයි?’ කියලාය.

ඒවා සාමාන්‍ය මාර්කට් දෙකක් නොව, ඉංජිනේරු විද්‍යාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ මහා අරුමයන් දෙකක් බවත්, ඒ ගැන ලියන්නට තවදුරටත් තොරතුරු හොයා බලන්න වුවමනා බවත් මම පිළිතුරු ලෙස කිවුවෙමි.

‘ග්‍රෑන්ඩ් බසාර්’ හි දවසක් සරද්දී මගේ හිතට ආ පළමු ප්‍රශ්නය නම්: මේ සා විශාල වෙළෙඳ සංකීර්ණයක් නොතෙමෙන ලෙස, පොළොවෙන් උල්දිය මතු නොවන ලෙස, ස්වාභාවික ආලෝකය හොඳින් පිරිමැහෙන ලෙස හා වාතාශ්‍රය සුවපහසුව බෙදාහැරෙන ලෙස කළමනාකරණය කරගත්තේ කෙසේද කියාය.‍

1455දී ඔටෝමාන් සුල්තාන්වරයකු විසින් ආරම්භ කරන ලද ග්‍රෑන්ඩ් බසාර් යනු එක් ගොඩනැඟිල්ලක් පමණක් නොව, වීදි 60කට අධික සංඛ්‍යාවක් සහ වෙළෙඳසල් 4,000කට ආසන්න ප්‍රමාණයක් එකට සම්බන්ධ වූ විශාල නාගරික ජාලයකි. එහි ප්‍රධාන ආවරණය සහිත කොටසෙහි බිම් ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ තුනකට වඩා වැඩි අතර, දෛනිකව ලක්ෂ ගණනක් සංචාරකයන් හා ගනුදෙනුකරුවන් විසින් එය භාවිත කරනු ලබයි.

මෙහි මධ්‍යම ව්‍යූහය ආරක්ෂිත වෙළෙඳ ගොඩනැඟිලි සැකසුමක් මත පදනම් වී මුල් කාලයේ ස්වර්ණාභරණ, රෙදිපිළි ඇතුළු වටිනා භාණ්ඩ වෙළෙඳාම සඳහා භාවිත වූ අතර, පසුව ඒ වටා සම්පූර්ණ වෙළෙඳ නගරයක් වර්ධනය වී තිබේ. වරක් අප ඊජිප්තු බසාරයේ එක් දොරටුවකින් පිට වී පරිවාර වෙළෙඳ වීදියක් දිගේ හෙමිහෙමින් ඇවිද යන අතර අප නොදැනුවත්වම ළඟා වී තිබුණේ ග්‍රෑන්ඩ් බසාර් එකටය. ඒ අනුව මේ ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ දෙක අතර මුළු කලාපයත් එළිමහන් වෙළෙඳ නගරයක් බව අපට පසක් විය.

මේ බසාර් සංකීර්ණය ප්‍රධාන වශයෙන් ගල්, ගඩොල් සහ විශේෂ බදාම වර්ග භාවිතයෙන් ඉදි කර ඇත. එහි ඇති ගෝලාකාර වහලවල් හෙවත් ‘ඩෝම්ස්’ අලංකාරයට පමණක් නොව, වහලයේ බර කුලුනු හා ඝන බිත්ති හරහා පොළොවට සමාන ලෙස බෙදාහැරීමට නිර්මාණය කළ ඉංජිනේරු නිර්මාණයන්ය. බොහෝ සුවිසල් ඔටෝමාන් ගොඩනැඟිලිවල ඇත්තේ මේ ආකෘතියයි.

භූමිකම්පා බහුල කලාපයක පිහිටි ඉස්තාන්බුල් නගරය තුළ, මේ බල බෙදාහරින ආකාරයේ ගොඩනැඟිලි ව්‍යූහය සියවස් ගණනක් පුරා ඒවා විනාශ නොවී පවත්වාගෙන යෑමට දායකත්වයක් ලබා දී ඇත. කෙසේ වුවද සියවස් කිහිපයක කාලය පුරා සිදු වූ ගිනි ගැනීම් හා කුඩා භූමිකම්පා අනතුරුවලින් පසු ප්‍රතිසංස්කරණ සහ ශක්තිමත් කිරීමේ කටයුතුද සිදු වූ බව පැවසේ.

මෙවැනි විශාල වහලවල් මතට වැටෙන වර්ෂා ජලය කෙසේ කළමනාකරණය කර ඇත්ද යන්න එහි ගොඩ වන ඕනෑම කෙනකුට කුතූහලයක් දනවන්නකි. ඔටෝමාන් ඉංජිනේරුවන් මෙහිදී ගුරුත්වාකර්ෂණය මත පදනම් වූ ජලාපවහන ක්‍රමයක් භාවිත කර ඇත. මුහුද අද්දර පිහිටියත් දැඩි කඳු පල්ලම් සහිත භූ විෂමතාව වාසිසහගතව යොදාගෙන ඇත්තේ වැසි ජලය හා අපජලය පාලනය කරගැනීමටය.

ගෝලාකාර වහලවල් සැලසුම් කර ඇත්තේ වර්ෂා ජලය ස්වාභාවිකව පහළට ගලා යා හැකි බෑවුම් සහිතවය. වහලයෙන් ගලා එන ජලය, බාහිරව පෙනෙන නවීන පිහිලි පද්ධතිවලට වඩා, ගොඩනැඟිල්ලේ ඝන බිත්ති තුළ සඟවා ඇති මැටි නළ ඔස්සේ පහළට ගෙන යනු ලැබේ. මෙය ව්‍යූහයේ අලංකාරය රැකගැනීමටත්, නළ පද්ධතිය කාලගුණික හා භෞතික හානිවලින් ආරක්ෂා කිරීමටත් හේතු වී තිබේ.

තවත් සුවිශේෂ කරුණක් වන්නේ වැසි ජල පාලනයට හා එක්රැස් කරගැනීමට ඉස්තාන්බුල් නගරයේ නිර්මාණය කර තිබූ භූගත ජලාශ පද්ධතියයි. මේ ගැන ඉදිරි ලිපියකින් සවිස්තරව ලියන්නට සිතා සිටිමි.

ඉස්තාන්බුල් නගරය යට, බයිසැන්තියම් සහ ඔටෝමාන් යුගවලදී ඉදි කරන ලද පොළොව යට ජල ටැංකි විශාල ජාලයක් පවතින බව ප්‍රසිද්ධය. මේ ටැංකි නගරයේ ජල අවශ්‍යතා සපුරාගැනීමට භාවිත වූ අතර, සමහර ව්‍යූහවල වර්ෂා ජලය මෙවැනි භූගත පද්ධති වෙත යොමු කිරීමද සිදු වී ඇත.

ග්‍රෑන්ඩ් බසාර් වැනි විශාල වහලවලින් එකතු වන වර්ෂා ජලය, ජල ටැංකිවලටම යොමු වූ බවට සම්පූර්ණ සාධක නොවූවද, එවකට පැවති නාගරික ජලාපවහන හා භූගත ගබඩා පද්ධති සමඟ සම්බන්ධ වූ බවට අනුමාන කෙරේ. අද වන විට මේ ටැංකි බොහෝ දුරට පානීය ජලය සඳහා භාවිත නොකළද, අධික වර්ෂා කාලවලදී නගරයේ වැසි ජාල පාලනය සඳහා එම පැරණි පද්ධති තරමක දායකත්වයක් සලසයි.

‘ඊජිප්තු බසාර්’ නම් වූ දෙවැනි සල්පිල ග්‍රෑන්ඩ් බසාර්ට වඩා කුඩා වුවද, එහි වහල සහිත ප්‍රමාණය වර්ග අඩි හැටදහසක් පමණ වන අතර, එහි වාස්තු විද්‍යාත්මක සැලසුම අතිශය ප්‍රශස්තය. කුළුබඩු වැනි භාණ්ඩ රැකගැනීම සඳහා ඇතුළත වාතය වියළි සහ නැවුම්ව පැවතිය යුතු බැවින්, ස්වාභාවික වාතාශ්‍රය සඳහා විශේෂ සැලසුම් මෙහි ඇතුළත් කර ඇත.

උසින් පිහිටි සිවිලිම් සහ වහල මට්ටමේ පිහිටි කවුළු හරහා උණුසුම් වාතය ඉහළට ඇදී ගොස් පිට වෙයි. එනිසා විශාල ආරුක්කු දොරටු හරහා ඇතුළු වන සිසිල් වාතය වෙළෙඳපොළ ඇතුළත නිරන්තරයෙන් සංසරණය වේ. ඝන ගල් බිත්ති නිසා පිටත උෂ්ණත්ව වෙනස්කම් ඇතුළතට ඍජුව බලපාන්නේ නැති අතර, මෙය ස්වාභාවික උෂ්ණත්ව පරිවාරකයක් ලෙස ක්‍රියා කරයි.

ඊජිප්තු බසාර් සහ ග්‍රෑන්ඩ් බසාර් සම්බන්ධ කරන වීදි, මධ්‍යකාලීන ඉස්තාන්බුල් නගරයේ ප්‍රධාන වෙළෙඳ හා සැපයුම් මාර්ග ලෙස ක්‍රියා කර ඇත. එමිනොනු වරායට මුහුදු මාර්ගයෙන් පැමිණි භාණ්ඩ, විශේෂයෙන් ඊජිප්තුවෙන් පැමිණි කුළුබඩු, පළමුව ඊජිප්තු බසාර් වෙත ගෙනැවිත්, එතැන් සිට කන්ද ඉහළට විහිදෙන මාවත් ඔස්සේ ග්‍රෑන්ඩ් බසාර් දක්වා රැගෙන යන්නට ඇතැයි සිතිය හැකිය.

මේ මාවත් දෙපස පිහිටි ‘හන්’ හෙවත් උසස් තත්වයේ අම්බලම් වෙළෙඳුන්ගේ නවාතැන්, ගබඩා සහ වාණිජ කටයුතු සඳහා භාවිත වී ඇති අතර, මුළු නගරයම එකම ඒකාබද්ධ වෙළෙඳ පද්ධතියක් ලෙස ක්‍රියා කිරීමට ඉඩ සලසා දී ඇත.

මේ බසාර්වල දිගුකල් පැවැත්මට වැදගත් හේතුවක් වන්නේ වහල ආවරණය සඳහා භාවිත කළ ඊයම් තහඩුය. ඊයම් යනු ජලය කාන්දු නොවන, කාලගුණික විපර්යාසවලට හොඳින් ඔරොත්තු දෙන සහ ගෝලාකාර මතුපිටවලට පහසුවෙන් හැඩගැසිය හැකි නම්‍යශීලි ලෝහයකි. නිසි නඩත්තු යටතේ මෙවැනි ඊයම් වහල ආවරණ දශක ගණනාවක්, ඇතැම් අවස්ථාවල සියවසකට වඩා වැඩි කාලයක් පවා පැවතිය හැකිය. පාරිසරික හේතු නිසා මේ වන විට ඊයම් වහල නිර්මාණයට ගන්නේ නැත.

විශේෂ බදාම වර්ග භාවිතයද මෙහිදී සඳහන් කළ යුතුය. ගඩොල් කුඩු සහ හුනු මිශ්‍ර කර සාදන ලද මේ බදාමය, ගොඩනැඟිලිවලට යම් නම්‍යශීලි බවක් ගෙන දෙන අතර, භූමිකම්පාවලදී කම්පන ශක්තිය දරාගැනීමට උපකාරි වේ.

වර්තමානයේ මෙන් අනාගතයේද බොහෝ ගෘහ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් තමන්ගේ දැනුම අලුත් කරගැනීමට මේ පැරණි ගොඩනැඟිලි සංකීර්ණ ක්‍රියාත්මක වන අපූරුව හදාරනු ඇත.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...