නිලඹර පිරිමදින මැවිසුරු විස්කම

නිලඹර පිරිමදින මැවිසුරු විස්කම

ගොඩනැඟිල්ලක් හැදීම ගසක් සිටුවීමට සමාන නම් ගස උස යන තරමට එහි මුල් පොළොව තුළට කිඳාබැසිය යුතුය. නොඑසේ නම් එහි මුල් පද්ධතිය පොල් ගසක මෙන් දස දහස් ගණනක් මුල් කෙඳිති විසිරී පැතිරී මහපොළොව ශක්තිමත්ව බදා වැලඳගත යුතුය.

පොළොව මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටරයක් උස ගොඩනැඟිල්ලක් ඉදි කරද්දීද මේ ආකාරයෙන්ම වූ මහපොළොව බැඳගත් මූල පද්ධතියක් හෝ වෙනත් ආධාරකයක් තිබිය යුතුය; ඊළඟට එහි සැකිල්ල ස්වකීය බර, තමන් මත පැටවෙන බර හා දැඩි සුළං ප්‍රවාහවල බලය අබිමුව නොබිඳී සිටින්නට පුළුවන් විය යුතුය. ඒ සියල්ලටම වඩා ඒ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අරමුණ සාක්ෂාත් කරගන්නට සමත් විය යුතුය; තම ආර්ථික හා නාගරික පරිසරයේ සියලු පද්ධතීන් හා සමතුලිතතාව පවත්වාගත යුතුය. අනෙක් අතට එය කලාපයක හා ලෝකයක ප්‍රමුඛයකු වීම අරබයා ඉදි කරන්නක් නම්, අවශ්‍ය ආයෝජකයන්, පරිශීලකයන් හා සංචාරකයන් දීර්ඝ කාලීනව දිනාගත යුතුය. කොටින්ම කියනවා නම් ලොව උසම ගොඩනැඟිල්ල කියා යමක් හදනවාට වඩා ‘බර්ජ් කලීෆා’ ගොඩනැඟිල්ලේ නිර්මාපකයන්ට බොහෝ අරමුණු තිබුණේය. ඒවා අතර සිය ඉදිකිරීමේ ස්ථාවර භාවය, ආර්ථික අරමුණු හා එහි අවසන් පරිශීලකයන්ගේ ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරගැනීම ආදියද විය. එහි වාස්තු විද්‍යාත්මක අලංකාරය මෙන්ම ඉදිකිරීමෙන් පසු නඩත්තු කොට පවත්වාගැනීමේ හැකියාව සහතික කරගත යුතු විය; ලොව ධනවත්ම නගරයක ආර්ථික උපායමාර්ගවලට සරිලන අගය එකතු කිරීමක් සහතික කළ යුතු විය. මේ සියලු අරමුණු සාක්ෂාත් කරගත් ලොව අද්විතීය ඉංජිනේරුමය නිර්මාණයක් මෙන්ම ආයෝජනයක් ලෙස ‘බර්ජ් කලීෆා’ ගොඩනැඟිල්ල සලකුණු තබා අවසානය.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ පාදම

2004 අවුරුද්දේ බර්ජ් ඩුබායි ගොඩනැඟිල්ල හදන්න මුලපුරද්දී ඒ හා සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයක් මුලින්ම සිදු කරන ලදි. ලොව ඕනෑම මිල අධික හෝ වැදගත් ව්‍යාපෘතියක් පටන් ගනිද්දී මේ ආකාරයේ මූලික අධ්‍යයනයක් කර එහි ආර්ථික, තාක්ෂණික, පාරිසරික හා සමාජයීය ශක්‍යතා අධ්‍යයනය කිරීම සම්මතයයි. ඉන් පසු පරිපූර්ණ ව්‍යාපෘති යෝජනාවක් අදාළ සේවායෝජකයන්ට ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව ව්‍යාපෘතිය ඉදිරියට යෑම හෝ නොයෑම තහවුරු කරනු ලැබේ. ඉන් පසු මුලින්ම ඊට අදාළ වන ආයතන හා පුද්ගලයන් හඳුනාගැනීම හා ව්‍යාපෘතියේ මූලික විස්තර සාරාංශගත කිරීමය.


මෙන්න මේ අවස්ථාවේ හරි හැටි තෝරාබේරාගත යුතු පාර්ශ්වකරුවන් පිරිසට ආයෝජකයන්, උපදේශකයන්, කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ඇතුළු සිය ගණනක් ඇතුළත් වූහ. අර සා උසැති ගොඩනැඟිල්ලක් කාන්තාරය සිසාරා හමන සාමාන්‍ය සුළඟට හා හදිසි කුණාටුවලට ඔරොත්තු දෙන පරිදි සැලසුම් කරන්නේ කවුද? අවදානම් කළමනාකරණය කරන්නේ කවුද? ආයෝජන හා වාණිජ කටයුතු මෙහෙයවන්නේ කවුද? මේ තරම් උස ගොඩනැඟිල්ල මුදුනට කොන්ක්‍රීට් රැගෙන යන්නේ කොහොමද? මේ විසල් ගොඩනැඟිල්ල කාන්තාර වැලි පොළොවක රඳවා තබාගන්නේ කොහොමද? ඉදි කිරීමෙන් පසු අහස උසට නැඟ, ගොඩනැඟිල්ල නිතිපතා නඩත්තු කිරීම් හා පිරිසුදු කිරීම් කරන්නේ කෙසේද? මේ ආදි දහසකුත් එකක් ප්‍රශ්නවලට උත්තර දෙන ආයතන හා පුද්ගලයන් එක්කාසු කරගැනීම, ඔවුන් සංවිධානය කිරීම, එකම අරමුණක් වෙනුවෙන් මෙහෙයවාගැනීම ව්‍යාපෘති කළමනාකරණය නමැති අභියෝගාත්මක වීර චාරිකාවයි.


උදාහරණයක් ලෙස: මේ ඉදිකිරීම සඳහා ලෝක වාර්තාවක් තබමින් ජර්මනියේ නිෂ්පාදිත කොන්ක්‍රීට් පොම්පයකින් මීටර් හයසීයක් උසට කොන්ක්‍රීට් පොම්ප කරන්නට පුළුවන් විය. මෙන්න මේ තාක්ෂනය මෙන්ම සැපයුම්කරුවා මුලින් හඳුනාගන්නට තරම් ව්‍යාපෘති කළමනාකරුවන් දක්ෂ විය යුතු විය. ඒ පමණක් නොව, මේ මොහොත වන විටත් බර්ජ් කලීෆා ගොඩනැඟිල්ලේ ටොන් ලක්ෂ පහක් පමණ වන බර දරා සිටින්නේ කොන්ක්‍රීට් කුලුනු 192ක් මත ඉදි වූ ඉංග්‍රීසි Y අකුරේ හැඩයට නිමා කළ ඝනකම් කොන්ක්‍රීට් පදනමකි. මේ කොන්ක්‍රීට් කුලුනු සියල්ලේ වැරගැන්නුම් කම්බි මලකඩ කෑම වළක්වන්නට මේ මොහොතේත් විදුලි ධාරාවක් සැපයෙමින් තිබේ.


මේ ආකාරයේ ලොව මෙතෙක් නොවූ විරූ තාක්ෂණයන් සියල්ල සැලසුම් කරගත්තත්, ඒ හා සම්බන්ධ විද්වතුන් හා උපකරණ එක්රැස් කරගත්තත් මෙවැනි ව්‍යාපෘතියක ව්‍යාපාරික, ආර්ථික හා මූල්‍යමය පසුබිම ඉතා හොඳින් ගළපාගත යුතු විය. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ලොව උසම ගොඩනැඟිල්ල ඉදි වෙමින් තිබූ කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා අවට කලාපයේ ඇති වූ ආර්ථික අවපාතය විසින් බොහෝ දැවැන්ත ඉදිකිරීම් අවදානමකට ලක් කිරීමයි. රාජ්‍ය අනුග්‍රහය ලබන දේපළ සමාගමක් වන එමාර් ප්‍රොපටීස් සමගම විසින් ආයෝජනය මෙහෙයවා වැඩ අරඹුවද 2008දී කලාපයේ ගොඩනැඟිලි ව්‍යාපාරය බිඳවැටෙන අයුරු මම සියැසින් දුටුවෙමි. ඒ වන විට මා සේවය කරමින් සිටි කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර සිටි සෙන්ටර් කොටසේ බාගෙට ඉදි වෙමින් තිබුණු ගොඩනැඟිලි සිය ගණනක වැඩකටයුතු මන්දගාමි විය. මින් සමහර ගොඩනැඟිලි සඳහා ආයෝජකයන් වූයේ ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරිකයෝය. තත්ත්වය එසේ පැවති සමයක ලොව විශාලම ආයෝජනයකින් ඉදි වෙමින් තිබුණු ‘බර්ජ් ඩුබායි’ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සඳහා ආධාර කිරීමට අබුඩාබි එමීර්වරයා වූ ‘කලීෆා බින් ෂයෙඩ්’ ඉදිරිපත් වූයේය. ‘බර්ජ් ඩුබායි’ අවසානයේ ‘බර්ජ් කලීෆා’ වූයේ ඔහුට ගරු කරනු පිණිසය.


මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියකදී තවත් වැදගත් කාර්යයක් වන්නේ සියලු අංශ යහමින් සැලසුම් කිරීමයි. කාර්ය සැලසුම් කිරීම වගේම, පිරිවැය හා කාලය සැලසුම් කිරීමද ඉතා පරිස්සමින් කළ යුතුය. උදාහරණයක් ලෙස ගත් විට: බර්ජ් කලීෆා ගොඩනැඟිල්ලට ඇස්තමේන්තු කළ මුදල වන අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන එකහමාර යනු වත්මන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන හාරසිය පනහකි. මේ සුවිශල් මුදල හා ගත වන කාලය හරිහැටි කළමනාකරණය කරගත්තේ නැත් නම් සියලු පාර්ශ්වකරුවන්ට අලුත් අභියෝග රැසකට මුහුණ පාන්නට සිදු වෙයි.


1931 සිට 1970 අවුරුද්ද දක්වා ලොව උසම ගොඩනැගිල්ල ලෙස කිරුළ දරා සිටි අමෙරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැඟිල්ල එසේ මනාව සැලසුම් කළ ඉදි කිරීමකි. එය සැලසුම් කළේ දින 410කින් නිම කරන්නය. එහෙත් ඉලක්ක කළ දිනයට වඩා දවස් දොළහකට කලින් එය අවසන් කරන්නට පුළුවන් විය. ඒ ගොඩනැඟිල්ල මෙන් දෙගුණයක් උසැති, ඊට වඩා කිහිප ගුණයක් සංකීර්ණ බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල වසර හයකින් නිම කරන්නට ව්‍යාපෘති කණ්ඩායමට හැකි වීමද විශේෂ ව්‍යාපෘති කළමනාකරණ වාර්තාවකි. මේ ඉදිකිරීම් දෙකම ඉතා සාර්ථක ව්‍යාපෘති වූයේ ඊට සරිලන සැලසුම් හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා සුදුසුම පුද්ගලයන් යෙදවීම නිසාය; ඔවුන්ට සමස්ත ආර්ථික හා දේශපාලන පද්ධතිය ගැන මෙන්ම අනාගත වෙනස්කම් ගැනද සියුම් ඉවක් තිබීම නිසාය.


සාමාන්‍යයෙන් රූස්ස ගොඩනැඟිලි හා කුලුනු ‘සිරස් ඉදිකිරීම්’ වන අතර, ඒවා මොන තරම් සංකීර්ණ වුණත් කල් ඇතිව, ක්‍රමානුකුලව සැලසුම් කරගැනීමෙන් බොහෝ විට බලාපොරොත්තු වූ ප්‍රමිතිය, මුදල හා කාලය ඇතුළත නිමා කරගත හැකිය. අනෙක් අතට, මහපොළොවට සමාන්තරව ඉදි කෙරෙන මහාමාර්ග, දුම්රිය මාර්ග, වාරිමාර්ග හා ජල නළ එළීම් ආදිය බොහෝ විට සැලසුම් කළ වියදමට හා කාලයට නිම කරගන්නට බැරි වෙයි. මීට ප්‍රධානතම හේතුවක් වන්නේ පොළොව මතුපිට විශාල පරාසයක පැතිරුණු ව්‍යාපෘතියකට බොහෝ විට අනපේක්ෂිත බාධකවලට හා සංකීර්ණ පාර්ශ්වකරුවන් සමග ගනුදෙනු කිරීමට සිදු වීමයි. මෙසේ අසාර්ථක වන ‘තිරස් ව්‍යාපෘති’ ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක වන්නේ විදේශීය ණය අාධාරවලිනි. ඒ නිසා එවැනි ව්‍යාපෘතිවලට සුවිශේෂ කළමනාකරණ ප්‍රවේශයක් ලබාගත යුතුව ඇත.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Advertisement

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...