ලෝකයා, කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරය හඳුනාගෙන ඇත්තේ අතිශය වියළි කාන්තාර දේශගුණයක් ඇති කුඩා අර්ධද්වීපයක් හැටියටය. කොටින්ම එය විසල් අරාබි භූමියෙන් පර්සියන් මුහුදට දිගු කෙරුණු ඇඟිල්ලක් හැඩැති වැලි පරයකි. එහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 100කටත් වඩා අඩුය (ලංකාවේ වර්ෂාපතනය එමෙන් විසි ගුණයකි). එහෙත්, මේ නගරය මුහුණ දුන් අභියෝගයක් වූයේ, ඉඳහිට වර්ෂාව ලැබෙන විට පවා, මුළු නගරයටම බලපාන ජල ගැල්මක් ඇති වීමේ අවදානමයි. මේ පරස්පර තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, නගරය මුහුදට ආසන්න සමතලා භූමියක් වීමත්, ස්වාභාවික ජලාපවහනයක් සිදුවීමට ඇති සැකැස්ම සීමා වීමත් ආදියයයි. මෙකී හේතු නිසා වියළි කටාර් පොළොවේ භූගත ජල මට්ටම මතුපිටට ආසන්නව පැවතීම පුදුමයක් නොවීය.
මේ අභියෝගයට පිළියම් සෙවීම සඳහා කටාර් රාජ්‍යයේ පොදු වැඩ අධිකාරිය (Public Works Authority – Ashghal) විසින් ආරම්භ කරන ලද විශාලතම යටිතල පහසුකම් වැඩසටහනක් ලෙස ගැඹුරු ක්ෂුද්‍ර උමං තාක්ෂණය (Micro tunneling) භාවිත කරමින් වර්ෂා ජලය කළමනාකරණය කිරීමේ ජාලයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති ආරම්භ විය. අපේ ව්‍යාපෘතියට අයත් වූයේ මේ දැවැන්ත වැඩපිළිවෙළින් කොටසකි. තවත් වැදගත් කරුණක් නම්: කටාර් රාජ්‍යයේ මාර්ග හා ජලාපවහනය අදාළ කටයුතු පැවරී ඇත්තේ ඉහත කී පොදු වැඩ අධිකාරියට වීමය. එම වගකීම එකම ආයතනයකට පැවරීම නිසා මාර්ග හා නගරයේ ජලාපවහන කළමනාකරණය වඩා ක්‍රමවත්ව සිදු විණ.
‘මයික්‍රෝ ටනලින්’ පද්ධතියෙන් සිදු වූයේ නගරයේ වැසි ජලය පොළොව මට්ටමට ඉතා ගැඹුරින් හෑරු කුඩා උමං ජාලයක් මඟින් ජලාශ කිහිපයකට එකතු කර මුහුදට පොම්ප කරහැරීමය. අපගේ ව්‍යාපෘතියට අයත් වැසි ජල උමඟ කි.මී. 10කට ආසන්න වූනේය. මෙය සිදු වූයේ තනිකරම නවීන උමං හෑරීමේ තාක්ෂණය උපයෝගි කරගෙනය. ව්‍යාපෘතියට යාබදව දෝහා මෙට්‍රෝ මාර්ගයේ උමඟ හෑරීමද ඒ දිනවලම සිදු වෙමින් තිබුණේය. එම දුම්රිය උමඟ සඳහා යොදාගත් විශාල උමං හැරීමේ උපකරණයක (TBM) විෂ්කම්භය අඩි විස්සකට වැඩි වූ අතර, අප පාවිච්චි කළ උමඟ කොටස් ඊට බෙහෙවින් කුඩා ප්‍රමාණයේ අඩි හයේ සිට අට දක්වා පමණ ඒවා විය.
වැසි ජල උමං මාර්ගයේදී මීටර් පන්සීයෙන් පන්සීයට පමණ පොළොව ඇතුළට හැරූ ගැඹුරු ළිංවලින් මෙකී කුඩා උමං හාරන යන්ත්‍ර පොළොව ඇතුළට බැස්වීම හෝ පිටතට ගැනීම සිදු විය. මේ යන්ත්‍රය බොහෝ නවීන හෑරීමේ යන්ත්‍රයක් වූ අතර, පොළොව මතුපිට ස්ථාපනය කළ පාලන මැදිරියකින් එහි ගමන නිරීක්ෂණය විය. දවසේ පැය විසිහතරේම වැඩ කළ ස්වයංක්‍රියව පාලනය වන යන්ත්‍ර දිනකට හාරන්නේ මී. 10ක් වැනි දුරකි. මේ සමඟ හාරාගත් පස් එළියට ගැනීමේ ක්‍රියාවලියද සිදු වන අතර, එය බෙන්ටෝනයිට් මඩ ද්‍රාවණයක් සමඟ පොළොව මතුපිටට ගෙන එන සැකැස්මක් තිබිණ. මේ බෙන්ටෝනයිට් ගැනත්, විශාල උමං හාරන යන්ත්‍ර ගැනත් ඉදිරි ලිපියකින් කතා කරන්නට සිතා සිටිමි.
මේ ව්‍යාපෘතිය මඟින් මීටර් දෙකකට ආසන්න විෂ්කම්භයකින් යුත් ශක්තිමත් කොන්ක්‍රීට් පයිප්ප යොදාගනිමින් ක්ෂුද්‍ර උමං ජාලයක් ස්ථාපිත කරන ලදි. මේ උමං පොළොව මතුපිට සිට මීටර් විස්සක් පමණ ගැඹුරකින් යුක්ත විය. මෙය කානු හාරන්නේ නැතිව ජලය බස්වන ක්‍රමයකි. වැසි ජල ප්‍රවාහනයට මෙන්ම අපජල ප්‍රවාහනයටත් මේ ආකාරයේ උමං යොදාගනී. හෑරූ උමඟ තුළට කලින් නිෂ්පාදනය කරගත් කොන්ක්‍රීට් වළලු ඇතුළු කරනු ලැබේ. ඒවායේ දෙකෙළවර සුදු යකඩ වළලුවලින් ආස්තරණය කර තිබුණු අතර, වළලු අතර මූට්ටු පසුව විශේෂ ක්‍රමයකින් පාස්සා මුද්‍රා තබනු ලැබීය. උමඟ හාරාගෙන යද්දීම කොටසින් කොටස කොන්ක්‍රීට් වළලු ඇතුළට තල්ලු කිරීමේ හයිඩ්‍රොලික් ජැකින් පද්ධතියක්ද මේ යාන්ත්‍රික මෙවලම් ගොන්නට අයත් විය.
මෙහි ඇති තාක්ෂණික කරුණු ගැන සරලව කතා කිරීම දුෂ්කරය. භූගත ජල මට්ටමට යටින් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර උමං විදින යන්ත්‍රය මඟින් පස සහ ජල පීඩනය සමබරව පවත්වාගැනීම සඳහා තාක්ෂණයන් භාවිත කරන්නේ හාරාගෙන යන උමඟට ජලය සහ වැලි ඇතුළු වීම වළකාගැනීමටයි.
උමඟ හාරා කොන්ක්‍රීට් වළලු ස්ථාපනය කිරීම එක්වර සිදු කෙරෙන බැවින් ඒවායේ නිරවද්‍යතාව පවත්වාගැනීම සඳහා ලේසර් මාර්ගෝපදේශ පද්ධති භාවිත කරන ලදි. මේ නිරවද්‍යතාව වඩාත් වැදගත් වූයේ ඉතා සියුම් බැස්මක් සහිතව නිර්මාණය කරන ලද උමං පද්ධතියේ ගුරුත්වාකර්ෂණය මත පමණක් ජලය ගලා යෑමට සැලැස්විය යුතු වූ නිසාය.
අවසානයේ, අපේ ව්‍යාපෘති කොටසට අදාළ වූ මෙසමීර් ජලාශයේ ගබඩා කරන ලද ජලය පොම්ප කර, මුහුදට මුදාහැරිය හැකි පරිදි ඉදි කර තිබිණි. වර්ෂාව සැමදා එකම ප්‍රමාණයකින් ලැබෙන්නේ නැති නිසා මේ පොම්පාගාර අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ධාරිතාවෙන් පමණක් ක්‍රියාත්මක විය යුතුය. අනෙක් අතට, ලැබෙන ජල ප්‍රමාණය අනුව ක්‍රියාත්මක වන පොම්ප ප්‍රමාණයද තීරණය වෙයි. මේ මුළු ජාලයම ස්මාර්ට් තාක්ෂණයකින් සමන්විත ජලවහන මෙහෙයුම් මධ්‍යස්ථානයක් මඟින් පාලනය වේ. එමඟින් වර්ෂාපතනය, ජල ප්‍රවාහ අනුපාත සහ පොම්ප ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරයි. ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයද මේ ගංවතුර පාලන වැඩපිළිවෙළට එකතු වනු නොඅනුමානය.