පසුගිය සතියේ සිළුමිණට ලියූ රූස්ස ගොඩනැඟිලිවල පැනල හා සිලිකෝන් මුද්‍රා ගැන කළ කතාබහෙන් පසු, ඒ සම්බන්ධ මතක අවදි කළ ඉදිකිරීම් අංශයට සම්බන්ධ වී සිටි කිහිප දෙනෙක්ම සිලිකා, සිලිකන් හා සිලිකොන් යනාදිය අපේ එදිනෙදා ජිවිතයට කෙතරම් සම්බන්ධ දැයි සිහිපත් කළෝය. ඉන් එක් මිතුරෙක් එවකට සේවය කරමින් සිටියේ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකය. වීදුරුවලටත් සම්බන්ධ සිලිකන් මේ අප ඔබ සම්බන්ධ කෙරෙන සන්නිවේදන මෙවලම්වලටත් සම්බන්ධ වෙයි.
මීට වසර කිහිපයකට පෙර ඉරිදා පුවත්පතකට මා ‘සිලිකන් වැල්ල’ නමින් විද්‍යා තීරු ලිපියක් ලිවුවෙමි. ටික කලක් එ-නමින්ම බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන ගිය මගෙන් රසිකයෙක් ඇසූ ප්‍රශ්නයක් වූයේ, “මෙහි හරි නම සිලිකන්ද, නැති නම් සිලිකෝන්ද?” යන්නයි. මගේ පිළිතුර වූයේ මේ නම් දෙකම නිවැරදි බවත්, ඒවා භාවිතයන් දෙකක් නියෝජනය කරන බවත්ය. සරලවම කිව හොත්: ‘සිලිකන්’ (Silicon) යනු ස්වාභාවික මූලද්‍රව්‍යයකි. ඒ සිලිකන් පදනම් කරගෙන නිපදවනු ලබන වාණිජ නිෂ්පාදනයක් ‘සිලිකෝන්’ (Silicone) ලෙස හැඳින්වේ. ඉංග්‍රීසි බසින් ලියද්දී දෙවැනි වචනයේ අගට ‘e’ අකුරක් එකතු වීම පමණක් සිදු වුවද, ඉන් විද්‍යාත්මක කලාප දෙකක් නිරූපණය වේ. මා එදා ඒ තීරු ලිපියට ‘සිලිකන් වැල්ල’ යන නම යෙදුවේ තාක්ෂණික කරුණක් මෙන්ම උත්ප්රාසයක්ද මතු කිරීමටයි. මන්ද, මහපොළොවේ දෙවැනිවට බහුලවම ඇති මූලද්‍රව්‍යය සිලිකන් වන අතර, ඕනෑම වැල්ලක තිබෙන්නේ සිලිකන් සහ ඔක්සිජන් සංයෝගයක් වූ ‘සිලිකා’ බැවිනි. අනෙක් අතට, ලොව සුපතළ අමෙරිකාවේ ‘සිලිකන් වැලි’ (Silicon Valley) නගරය සිහිපත් කරවීමද මගේ අභිලාෂය විය.
ඔබ වෙරළක ඇවිද යන විට පයට පෑගෙන වැලි කැටයක් දෙස මොහොතකට නතර වී බලා තිබේද? ඒ අජීව, රළු වැලි කැටය තුළ ඔක්සිජන් සමඟ සංයෝගිව තිබෙන සිලිකන් මූලද්‍රව්‍යය නවීන ලෝකයම හසුරවන බලවතකු වී තිබේ. අප අත රැඳි ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අහස සිඹින දැවැන්ත ගොඩනැඟිලි දක්වාත්, සූක්ෂ්ම වෛද්‍ය ශල්‍යකර්මවල සිට අභ්‍යවකාශ යානා දක්වාත් විහිදුණු මහා තාක්ෂණික ජාලයක සිලිකන් සිය අණසක රසායනිකව ගත් කල සිලිකන් (Silicon) යනු ස්වභාවධර්මයේ සිලිකා හෙවත් ‘ක්වාර්ට්ස්’ වැලි ලෙස පවතින්නකි. මේ වැලි කැට අතුරින් විශේෂ ලක්ෂණ සහිත ඒවා ඉහළ උෂ්ණත්ව යටතේ රසායනික ක්‍රියාවලියකට ලක් කළ විට අපට පිරිසුදු සිලිකන් ලබාගත හැකිය. සිලිකන් යනු අර්ධ සන්නායකයකි (Semiconductor). එනම්, විදුලි ධාරාව පාලනය කිරීමේ අපූර්ව හැකියාවක් මෙයට ඇත. විසිවැනි සියවසේ තාක්ෂණික විප්ලවයේ හදවත වූ පරිගණක ‘මයික්‍රොචිප’ නිර්මාණය වන්නේ මේ සිලිකන් මූලද්‍රව්‍යයෙනි. දත්ත ගබඩා කරන මේ කුඩා ‘චිප’ නිපදවීම සඳහා සිලිකන් සියයට සියයකට ආසන්න වන තරම් අතිශය පිරිසුදු මට්ටමකට පත් කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මේ අවශ්‍යතාව නිසාම ලෝක භූ දේශපාලනය තුළ ‘පිරිසුදු සිලිකා’ ඇති රටවලට විශාල වටිනාකමක් ලැබී ඇත. සිලිකන් හිමිකම යනු අනියමින් ආර්ථික හා තාක්ෂණික බලය සතු කරගැනීමකි. මෙතැනදීත් චීනය, රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට වැඩි වාසිය හිමි වෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ පර්යේෂකයන්ද දහයියා අළුවලින් අතිශය පිරිසුදු සිලිකා නිස්සාරණය කිරීම සඳහා කළ පර්යේෂණ පිළිබඳ වරින් වර වාර්තා විය. අනෙක් අතට සිලිකා සමහර කර්මාන්තවලට අවහිරයක් වූ අවස්ථාද මා දැක ඇත. ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ මුල් කාලයේදී පිදුරු පල්ප නිපදවීමට දරන උත්සාහයන්හිදී පිදුරුවල තිබුණු සිලිකා ගල් ගැසී පල්ප නිපදවන කුටීරවල සිර වී සිටින හැටි මම බොහෝ කලකට ඉහතදී දුටුවෙමි.
අනෙක් අතට ‘සිලිකෝන්’ (Silicone) යනු සම්පූර්ණයෙන්ම වෙනස් භෞතික ද්‍රව්‍යයකි. සිලිකෝන් යනු සිලිකන් මූලද්‍රව්‍යය මත පදනම්ව, ඔක්සිජන් සහ කාබනික සංයෝග එකතු කර, මිනිසා විසින් රසායනිකව නිපදවන ලද පොලිමරයක් හෙවත් බහු අවයවිකයකි (Polymer). එහි රසායනික ව්‍යූහය ශක්තිමත් සිලිකන් හා ඔක්සිජන් දාමයකින් සැකසී ඇත. සාමාන්‍ය ප්ලාස්ටික්වලට හෝ රබර්වලට වඩා මෙයට විශේෂ වූ ගුණාංග කිහිපයක් හිමි වෙයි. ඒවා සෙල්සියස් අංශක ඍණ 50ක අධික සීතලක සිට සෙල්සියස් අංශක 200ක අධික උෂ්ණත්වයක් දක්වා නොවෙනස්ව පවතී. පාරජම්බුල (UV) කිරණවලට හෝ වර්ෂාවට මෙය විනාශ නොවේ.
පසුගිය සතියේ ලිපියේ මා සඳහන් කළ පරිදි, නවීන නාගරික ගොඩනැඟිලි ඉදි කිරීමේදී වීදුරු සහ ඇලුමිනියම් පැනල එකිනෙක අලවන ‘සීලන්ට්’ (Sealant) ලෙස භාවිත වන්නේ මේ සිලිකෝන් ය. ගොඩනැඟිල්ලක් වසර 30-40ක් පවතින්නේ මේ හුරුබුහුටි ‘රබර්’ වැනි ද්‍රව්‍යයේ ඇති නම්‍යශීලි බව නිසාය. මේ සිලිකෝන් රසායනිකව වැඩි දියුණු කර ගොඩනැගිලි ව්‍යූහයට යම් ශක්තියක් දෙන ආකාරයෙන් සකසාගන්නද පුළුවන. ඒවා කුඩා ටියුබ්වල බහා වෙළෙඳපොළට නිකුත් කරයි. සිලිකොන් තුවක්කුව නම් කුඩා උපකරණයකින් වීදුරු හා ඇලුමිනියම් මූට්ටු අතරට සිලිකොන් පොම්ප කරනු ලබයි. මේ කාරිය සඳහා මනා පුහුණුවක් හා හුරුබුහුටිකමක් තිබිය යුතුය. මුල් කාලයේ මේ සඳහා විශේෂ පුහුණු ශිල්පීන් විදේශවලින් ගෙන්වාගැනීමට සිදු විය. එවැනි අවස්ථාවක සිදු වූ අකරතැබ්බයක් මට මතකය.
සන්නිවේදන දෝෂයක් නිසා මෙරටට පැමිණ තිබුණේ සිරස් බිත්තිවල සිලිකොන් අලවන ශිල්පියකු නොව, තිරස් පැනල අතර සිලිකොන් ඇලවීමට පමණක් පුහුණුව ලැබූ ශිල්පියෙකි!
වෛද්‍ය විද්‍යාවේදී සිලිකෝන්වල භූමිකාව අතිමහත්ය. එය මිනිස් සිරුරට විෂ නොවන ද්‍රව්‍යයක් බැවින් ශල්‍ය නාලිකා (Catheters), කෘත්‍රිම අවයව සහ හෘදය රෝගීන් සඳහා භාවිත කරනු ලබන උපකරණ නිපදවීමට සිලිකොන් යොදා ගන්නා බව මා කියවා ඇත. එසේම, අපේ මුළුතැන්ගෙයි භාවිත වන උෂ්ණත්වයට ඔරොත්තු දෙන බේකින් තැටි, හැඳි සහ කුඩා දරුවන්ගේ කිරි බෝතල්වල සූප්පු සඳහාද සිලිකෝන් භාවිත වේ. මෝටර් රථ සහ අභ්‍යවකාශ යානාවල අධික තාපය පවතින එංජින් කොටස්වල සීල් තැබීම් (Gaskets) සඳහා භාවිත කරනු ලබන්නේද සිලිකෝන් වර්ගයි. මෙසේ බලන කල, සිලිකන් සහ සිලිකෝන් යනු අපේ කාලයේ ද්විත්ව බල සැපයුමක් බඳුය. එකක් අපට අසීමිත දත්ත ලෝකයක් තෑගි කරන අතර, අනෙක අප ජීවත් වන භෞතික ලෝකය වඩාත් සුරක්ෂිත කරයි.
‘සිලිකන්’ මඟින් මයික්රොචිපයකින් දත්ත ගලා යන විට, ‘සිලිකෝන්’ මඟින් නිමැවූ සීලන්ට් එකක් ඔබේ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල වැස්සෙන් ආරක්ෂා කරයි. වැලි කැටයක් දෙස බලද්දී මට එතුළ ලෝක දෙකක් සැඟවී ඇති බව පෙනේ. එකක් ඉලෙක්ට්‍රොනික සංඥා මඟින් ලෝකය යා කරන ‘සිලිකන්’ ලෝකයයි. අනෙක රසායනික බැඳීම් මඟින් ලෝකය ශක්තිමත් කරන ‘සිලිකෝන්’ ලෝකයයි.