විස්කම් පුස්-කම් කරමින් ඔක්කොම තිතට කර අත්හැර දැමෙන ‘ටික’
ඉංජිනේරු විද්‍යාව තිබෙන්නේ හුදු ඉදිකිරීම් හා ඉලෙක්‌ට්‍රොනික හෝ යාන්ත්‍රික නිර්මාණ සඳහා පමණක් නොවේ. සුවපහසු නීරෝගිමත් ජන ජීවිතයක් සලසා දීමටත් පිරිසුදු පරිසරයක් පවත්වාගැනීමටත් වෙහෙසෙන ඉංජිනේරුවෝ සහ ව්‍යාපෘති කළමනාකරුවෝ ලක්ෂ ගණනක් ලෝ පුරා සිටිති. අනෙක් අතට මේ අරමුණ ඇතිව නිර්මාණය කරනු ලබන ඕනෑම සේවාවක්, පොදු පහසුකමක් හෝ ආයතනයක් පවත්වා ගැනීමට ඉංජිනේරු විෂයපථයෙන් ඔබ්බට ගිය පරිකල්පනයක් හා පද්ධති කළමනාකරණ දැක්මක් අවශ්‍ය වෙයි.
උදාහරණයක් ලෙස කියන්නේ නම්: මිනිසුන් මිලියන ගණනක් වෙසෙන ජනාකීර්ණ නගරයක ජල සැපයුම, විදුලි සැපයුම, වැසි ජල පාලනය පමණක් නොව; මලාපවහන පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ, නගරය නරකාදියක් බවට පත් වෙයි.
ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටනයේ දෙවසරක් තිස්සේ වෙසෙන මා තවමත් පුදුම වන්නේ මිලියන දහසයකට අධික ජනගහනයක් වෙසෙන මෙවන් විශාල නගරයක් ඉහත කී සියලු සේවා මේ තරම් ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. ඉනුත් මට සිතාගන්නට අපහසු මේ නගරයේ ඇති විශිෂ්ට අපජල කළමනාකරණ ක්‍රමවේදයයි.
මේ ගැන සම්පූර්ණ හැදෑරීමක් තාමත් කරන්නට මට කල් වේලා නොලැබුණත් මා දැනගත් කරුණු අනුව මේ සාර්ථක සේවා කළමනාකරණයට පසුබිම් වූ හේතු ගණනාවක් වෙයි. ඔවුන්ගේ ප්‍රධාන උපායමාර්ග අතරට වැසි ජලය අපජලයෙන් වෙන් කිරීම, ජෛව විද්‍යාත්මක සහ තෘතීයික පිරිපහදු ක්‍රම සඳහා ආයෝජනය කිරීම, ස්මාර්ට් අධීක්ෂණ පද්ධති යෙදවීම සහ නීතිවිරෝධි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම ඇතුළත් වෙයි. මා දන්නා පරිදි තාක්ෂණික යටිතල පහසුකම්, ආයතනික හැකියාව, අඛණ්ඩ නඩත්තුව සහ ප්‍රජා සහභාගිත්වය සමඟ ගළපාගෙන මේ වැඩේ ගොඩ දමාගෙන තිබේ. ඉස්තාන්බුල් නගරයේ ජල සහ අපජල සේවා කළමනාකරණය කරනු ලබන්නේ, සමස්ත මහ නගර ප්‍රදේශය පුරා බලය ඇති, ඉස්තාන්බුල් ජල හා අපජල පරිපාලනය ආයතනය මඟිනි. පුළුල් අපජල ජාල, නවීන පිරිපහදු මධ්‍යස්ථාන සහ අඛණ්ඩ අධීක්ෂණය මඟින්, ඉස්තාන්බුල් නගරය වෙනත් සමහර මහා නගරවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දුගඳ හෝ අපජල පිටාර ගැලීම් වැනි ගැටලු වළක්වාගෙන තිබේ.
මේ සියලු සේවා ඇරඹෙන්නේ සංවර්ධන ව්‍යාපෘති වශයෙනි. මේවා ආරම්භයේ පටන් අදාළ පූර්ව දැනුම යොදාගැනීම හා නිසි පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගැනීම හොඳින්ම සිදු විය යුතුය. එමෙන්ම, යම්කිසි ව්‍යාපෘතියක් නිමා වූ පසු පරිශීලකයන් සූදානම් කර තිරසරව පවත්වාගැනීම ඉතා වැදගත් කාර්යයකි. මේ කතාව සමඟ මට මතක් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකක් වන ලුනාව කලපුව හා බේරේ වැව පිළිබඳ වරින් වර මතු වන පුවත් සිරස්තල නිසාය. ඉතා සොඳුරු නගර පරිසරයක් මැවිය හැකි මෙවන් ජලාශ ප්‍රධාන නගරයකට ආභරණයන්ය. එහෙත් මේවා අඳුරු පැහැ ගත් දුගඳ හමන තත්ත්වයකට පත් වීම පිළිබඳ වරින් වර මැසිවිලි නැඟීම වළක්වාගන්නට ඕනෑය (මේවායේ අද තත්ත්වය ගැන කියන්නට මම හරියටම දන්නේ නැත). මෙවැනි ජලාශ අපවිත්‍ර වීම පිටුපස අදාළ ජල පෝෂක ප්‍රදේශයේ අපජලය කළමනාකරණය කිරීමේ අඩුපාඩුද ප්‍රධාන හේතුවක් වෙයි.
කලක් ඉතා සොඳුරු පරිසර පද්ධතියක් වූ ලුනාව කලපුව හා අවට වනළැහැබ 2004 අවුරුද්දේ අප එහි යන විට පැවතියේ බෙහෙවින් වල්බිහි වී, කැළිකසළින් දූෂිතවය. ඉනුත් වසර කිහිපයකට පෙර සිදු කළ පරිපූර්ණ ශක්‍යතා අධ්‍යයනයකින් පසු ලුනාව කලපුවේ ජලපෝෂක ප්‍රදේශයේ ගංවතුර පාලනයටත් පරිසරය වැඩිදියුණු කිරීමටත් ව්‍යාපෘතියක් යෝජනා වී තිබිණි. වර්ග කිලෝමීටර් දහයක පමණ ප්‍රදේශයක් පුරා ඇති සියලු ස්වාභාවික දිය කඳුරු, ඇළ මාර්ග, හා කානු පද්ධතිවල ජලය ගලාගෙන යෑමට ඇති බාධක ඉවත් කර වැඩිදියුණු කිරීමටත් ලුනාව කලපුව හාරා රොන් මඩ ඉවත් කිරීමටත් ඉන් පසුව ලුනාව කලපුවේ ඇරෙන වැහෙන මුහුදු පිවිසුම වැලිවලින් අවහිර වීමට ස්ථිර විසඳුමක් දීමත් ව්‍යාපෘතියේ තාක්ෂණික කොටස විය. මේ කොටසට අමතරව මානව සංවර්ධන හා යළි පදිංචි කිරීමේ අංශයක්ද ව්‍යාපෘතියේ තිබිණි. මෙය හැඳින්වූයේ ලුනාව පාරිසරික සංවර්ධන හා ගංවතුර පාලන ව්‍යාපෘතිය ලෙසය. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු කළ ඉතා සාර්ථක ව්‍යාපෘතියක් විය. ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස අප දුටුවේ ඉතා සංකීර්ණ, එහෙත් සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කල් ඇතිව කර තිබීමය. ගංවතුර ඇති වීමට හේතු, ජල මාර්ග හා කලපුව අපවිත්‍ර වීමට හේතු මෙන්ම ඒවා නැති කිරීමේ මාර්ගය මෙන්ම මේ හේතු නැති කිරීමෙන් පසු සියලු ජලමාර්ග හා කලපුව පිරිසිදුව පවත්වාගෙන යෑමේ පාර්ශ්වකරුවන් සූදානම් කිරීමේ පැහැදිලි ක්‍රියාමාර්ග ව්‍යාපෘතියට අඩංගු විය. ජපාන ණය ආධාර යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූයේ දකුණු කොරියානු සමාගමකි. මා එම සමාගමේ සැලසුම් හා ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස ලද අත්දැකීම් බොහෝ ලියන්නට තිබෙයි.
පිරිසිදු කිරීමකින් තොරව අපජලය කිසිදු ජල මාර්ගයකට නොයැවෙන පරිදි ලුනාව කලපුවේ ජල පෝෂක ප්‍රදේශය වූ මේ වර්ග කිලෝමීටර් දහයේදී කටයුතු සිදු විය. ඇළ මාර්ග දෙපසත් ලුනාව කලපුව වටේටත් අලුතින් මාර්ග ඉදිකිරීමෙන් ජල මාර්ග නඩත්තුව පහසු කෙරුණා පමණක් නොව ඒවාට කසළ බැහැර කිරීම වළක්වනු ලැබිණි. අදාළ පළාත් පාලන ආයතනවලට ව්‍යාපෘතියෙන් පසු සියලු ජල මාර්ග, කලපුව හා පරිසරය පවත්වා ගෙන යාමේ පුහුණුව හා පහසුකම් සැපයිණි. මෙය වසර කිහිපයක් තිස්සේ හොඳින් ක්‍රියාත්මක වූ අතර ලුනාව කලපුව අවට ඉතා මනරම් නගර උද්‍යානයක් මැවී තිබිණි. අවුරුද්දකට දෙවරක් ගංවතුර නිසා ගාලු පාර අයිනේ තාවකාලිකව පදිංචි වෙන්නට එන සමහර වැසියන්ට අස්වැසිල්ලක් ලැබිණි. 2017 දී පමණ රුහුණු කුමාරි දුම්රියෙන් ලුනාව අසලින් යන විටත් ඉතා රමණීය දසුනක් ලෙස ලුනාව කලපුව හා වෙරළ මට පෙනිණි. ඉන් පසු කාලයේ මට මේ ව්‍යාපෘතිය ගැන හොයන්නට බැරි වූ නිසා අද වන විට එහි තත්ත්වය නොදනිමි.
මේ ආකාරයෙන්ම කලක් අපවිත්‍රව දුගඳ හමමින් තිබු කොළඹ බේරේ වැව පිරිසුදු කර එයට එක්වන අපජලය වැළැක්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. ඉන් පසු කලක් ගත වන තුරු කොළඹ බේරේ වැව නිසා මනස්කාන්ත ජලජ පරිසරයක් මැවිණි. කොළඹ නගරයට, අභිමානයක් හා නගරයේ යටත්විජිත සහ නූතන අනන්‍යතාවේ සලකුණක් වූ බේරේ වැව, වරින් වර බොහෝ පුවත් සිරස්තලවලට නැඟෙන්නේ යහපත් හේතු නිසා නොවේ; දුගඳ, ඇල්ගී වර්ධනය සහ මහජන පැමිණිලි ආදිය නිසාය.
බොහෝ විට විදේශ ණය ගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි ව්‍යාපෘති මෙන්ම විශාල බස් නැවතුම්පොළවල්, දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන පිළිසකර කිරීම පවා අවසානයේ අසාර්ථක ව්‍යාපෘති බවට පත් වන්නේ ඉංජිනේරු ශිල්පයේ වරදක් නිසාම නොවේ. මේවායේදී නොසලකා හැරෙන වැදගත්ම සාධකයක් වන්නේ අවසාන-පරිශීලක සූදානමයි (end-user readiness). මේ පද්ධති වටා ජීවත් වන, ඒවා භාවිත කරන සහ අවසානයේ ඒවා පවත්වාගෙන යන ආයතන හා ප්‍රජාවන් සූදානම් කිරීම සහ තිරසර ආයතනික ක්‍රියාදාමයක් සපයාගැනීමට අපොහොසත් වීම නිසා ඉතා හොඳින් සැලසුම් කළ ව්‍යාපෘති පවා අසාර්ථක වෙයි.