වෙරළෙන් එපිට කැරකෙන යෝධ සුදු පියාපත්…

මින් මාස කිහිපයකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ආසන්න අධිවේගි දුම්රිය මාර්ග වැඩබිමක් බලන්න ගිය අවස්‍ථාවක බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු හාත්පස කඳුවැටි සියල්ල අරක් ගත් සුළං බල පංකා පෙන්වමින් මෙසේ කිවුවේය: “හරිත බලශක්ති අංශයේ ලොකුම විප්ලවයක් කරපු එක්සත් රාජධානියේ ගොඩබිමින් එපිට සුළං බල වැඩසටහනට 2025 දෙසැම්බර් වෙන කොට අවුරුදු විසිපහක් වෙනව. ඒ එක්කම මගී ප්‍රවාහන දුම්රිය ගමනාගමනය පටන් අරන් අවුරුදු දෙසීයක් වෙනව.”


මහාද්වීප යා කරන අනාගත අධිවේගි දුම්රිය මඟක සැලසුම් අතරේ බැලූ බැලූ අත පෙනෙන සුළං බල කුලුනු දකිමින් සිටින මට මෙවර සටහන ඒ කතාබහ ඔස්සේ ලියන්නට දිරිය ලැබුණේය.


ලෝකය වේගයෙන් බලශක්ති සංක්‍රාන්තියක් කරා ගමන් කරමින් සිටී. මේ ගෝලීය ප්‍රවණතාවේ පෙරගමන්කරුවකු වන එක්සත් රාජධානිය, සිය බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථාන දෙකක් පසුගිය වසරේදී සැමරුවේය. එනම්: බ්‍රිතාන්‍යයේ ප්‍රථම ‘ඕෆ්-ෂෝ’ (Offshore) හෙවත් සාගරස්ථ සුළං බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ වී වසර 25ක් සපිරීම සහ පොදු දුම්රිය ප්‍රවාහනයට වසර 200ක් සපිරීමයි. සුළං බලශක්ති ව්‍යාපෘති බහුල රටක ව්‍යාපෘති කළමනාකරණ හා සැලසුම්වලට අදාළව කටයුතු කරන වෘත්තිකයකු ලෙසත්, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නකු ලෙසත්, බ්‍රිතාන්‍යයේ මේ ‘රිදී ජුබිලිය’ හා ‘ද්විත්ව ශතක සංවත්සරය’ ඉතා වැදගත් දේවල් ලෙස මට පෙනේ.


වසර 2000 දෙසැම්බරයේදී උතුරු මුහුදේ බ්ලයිත් (Blyth) වෙරළට ඔබ්බෙන් ටර්බයින දෙකකින් ආරම්භ වූ එක්සත් රාජධානියේ සාගර සුළං බලශක්ති ගමන, අද වන විට ලොව දැවැන්තම සාගර සුළං වෙළෙඳපොළක් දක්වා වර්ධනය වී ඇත. වසර 25කට පෙර මෙය හුදෙක් පර්යේෂණාත්මක මට්ටමේ පැවති තාක්ෂණයක් වුවද, අද වන විට බ්‍රිතාන්‍යයේ මුළු විදුලි අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සපුරාලීමට තරම් එය ප්‍රබල වී තිබේ.


මෙය හුදෙක් බලශක්ති උත්පාදනයක් පමණක් නොව, වෙරළබඩ ප්‍රජාවන්ට නව රැකියා දහස් ගණනක් උදා කළ මහා පරිමාණ කර්මාන්තයකි. මුලදී මෙවැනි ව්‍යාපෘති සඳහා වූ පිරිවැය ඉතා අධික වුවද, තාක්ෂණික දියුණුව සහ ව්‍යාපෘති කළමනාකරණ කාර්යක්ෂමතාව නිසා අද වන විට සාගර සුළං බලශක්තිය, පොසිල ඉන්ධනවලට වඩා ලාභදායි විකල්පයක් බවට පත්ව ඇත.


මේ සැමරුම වඩාත් සුවිශේෂ වන්නේ බ්‍රිතාන්‍යයේ පොදු දුම්රිය සේවයට වසර 200ක් පිරීමට (1825-2025) සමගාමීව මෙය සිදු වීමයි. 1825දී ලොව ප්‍රථම පොදු දුම්රිය ගමන ආරම්භ කරමින් කාර්මික විප්ලවයට පදනම දැමූ බ්‍රිතාන්‍යය, එදා ලෝකයේ ගමන් මඟ වෙනස් කළේය. එදා වාෂ්ප එන්ජිම හරහා සිදු වූ එම පෙරළියට නොදෙවැනි විප්ලවයක් අද සාගර සුළඟ හරහා සිදු වෙමින් පවතී.


දුම්රිය සේවය එදා රටේ ආර්ථික මර්මස්ථාන එකිනෙක යා කළා සේම, සාගරයේ ඉදි කළ දැවැන්ත සුළං ටර්බයින අද බ්‍රිතාන්‍ය නිවාස මිලියන ගණනක ආලෝකය බවට පත්ව ඇත. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා දුම්රිය පද්ධතිය විදුලි බලයට හැරවීමේදී, මේ සුළං බලශක්ති ව්‍යාපෘති මඟින් නිපදවන ‘හරිත විදුලිය’ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.


වර්තමානයේ මා ව්‍යාපෘති උපදේශකවරයකු ලෙස කටයුතු කරන තුර්කියද සුළං බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් පැනීමට සැරසෙයි. යුරෝපය සහ ආසියාව යා කරන මංසන්ධියක පිහිටි තුර්කියට පවතින සුළං විභවය අතිමහත්ය. 2035 වන විට සාගර සුළං බලශක්තියෙන් ගිගාවොට් 5ක ධාරිතාවක් උත්පාදනය කිරීමට තුර්කිය ඉලක්ක කර ඇති බව වාර්තා වන අතර, ඒ සඳහා ලෝක අන්තර්ජාතික ආයතන සමඟ එක්ව දැවැන්ත ආයෝජන සැලසුම් කරමින් සිටින බව කියවන්නට ලැබිණි.


ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස මා දකින ප්‍රධාන කරුණක් වන්නේ මහ සයුරේ සුළං බලාගාර ඉදිකිරීමේදී එක්සත් රාජධානිය සිය සැපයුම් දාමය (Supply Chain) කළමනාකරණය කළ ආකාරයයි. ටර්බයින නිෂ්පාදනයේ සිට ඒවා මුහුදේ ස්ථාපනය කිරීම දක්වා වූ සංකීර්ණ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යය ලබා ඇති අත්දැකීම් අප වැනි නැඟී එන රටවලට මහඟු පාඩමකි.


ශ්‍රී ලංකාව තුළද පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීමට මෑතකදී සුවිශේෂ පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම, USAID සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) එක්ව හඳුන්වා දුන් ‘ජාතික බලශක්ති මිණුම් දණ්ඩ වෙබ් ද්වාරය’ (National Energy Benchmarking Portal) ශ්‍රී ලංකාවේ බලශක්ති කාර්යක්ෂමතාව මැන බැලීමේ තීරණාත්මක මෙවලමකි. මේ කාර්යයට අනියමින් පාර්ශ්වකරුවකු වන්නට ලැබීම ගැන සතුටු වෙමි.


බලශක්ති පරිභෝජනය දත්තමය වශයෙන් විශ්ලේෂණය කිරීම සහ ඒ හරහා පිරිවැය අවම කරගැනීම සඳහා මෙමඟින් ආයතනවලට අවස්ථාව සැලසේ. ඕනෑම බලශක්ති ව්‍යාපෘතියක සාර්ථකත්වය රඳා පවතින්නේ නිවැරදි දත්ත මතය. බ්‍රිතාන්‍යය සිය සාගර සුළං බලශක්ති ක්ෂේත්‍රය ලොව අංක එක දක්වා දියුණු කළේද මෙවැනි දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් සහ පාර්ශ්වකරුවන්ගේ (Stakeholders) මනා එකතුවකිනි.


එක්සත් රාජධානිය වසර 25කට පෙර ඉදි කළ මුල්ම මුහුදු සුළං ටර්බයිනවලට වඩා අද වන විට තාක්ෂණය බෙහෙවින් දියුණු වී ඇත. මුල් කාලයේ ටර්බයිනයක උසට වඩා අද ටර්බයිනයක එක් පියාපතක දිග වැඩිය. වර්තමානයේ එක් ටර්බයිනයකින් උත්පාදනය කරන විදුලිය, එවකට මුළු සුළං බල කුලුනු සමූහයකින් නිපදවූ විදුලියට වඩා වැඩි වීම ඉංජිනේරු විද්‍යාවේ විස්මයකි.


බ්‍රිතාන්‍යය මේ වන විට ‘ලොව විශාලතම සාගර සුළං ගොවිපොළ’ ලෙස සැලකෙන ‘ඩොගර් බෑන්ක්’ (Dogger Bank) ව්‍යාපෘතිය නිම කරමින් සිටින අතර, එය නිවාස මිලියන 6කට පමණ විදුලිය සැපයීමට සමත් වනු ඇත. කෙසේ වෙතත්, මෙම ගමන පහසු නොවීය. මුහුදේ රළු ස්වභාවය, ලවණතාව නිසා ඇති වන විඛාදනය, නඩත්තු පිරිවැය සහ සැපයුම් දාමයේ ගැටලු ජය ගැනීමට බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට සහ ව්‍යාපෘති සැලසුම්කරුවන්ට වසර ගණනාවක් ගත විය.


එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල් බලශක්ති වැඩසටහන් සාර්ථක කරගැනීමේ මුල්ම රහස වන්නේ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ස්ථාවර බලශක්ති ප්‍රතිපත්තියයි. රජයන් මාරු වුවද, 2050 වන විට ‘ශුද්ධ ශූන්‍ය’ (Net Zero) විමෝචනය කරා යෑමේ ඉලක්කය වෙනස් නොවනු ඇත. මේ ස්ථාවර ප්‍රතිපත්ති පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට විශාල විශ්වාසයක් ගෙන දෙන අතර, සාර්ථක බලශක්ති වැඩසටහන් සඳහා අවශ්‍ය දෙවැනි වැදගත්ම සාධකය ලෙස මා දකින්නේ පෞද්ගලික අංශයේ දායකත්වයයි.


ශ්‍රී ලංකාව වැනි රටවල් ද මන්නාරම සහ උතුරු මුහුදේ ඇති අතිවිශාල සාගර සුළං විභවය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට නම්, මෙවැනි දිගුකාලීන ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය වේ. විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට නම්, අපගේ බලශක්ති ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.


එක්සත් රාජධානියේ සාගර සුළං බලශක්තියේ රිදී ජුබිලිය හුදෙක් සැමරුමක් පමණක් නොව, එය මානව උත්සාහයේ සහ නවෝත්පාදනයේ ජයග්‍රහණයකි. ගල් අඟුරු සහ ගෑස් මත යැපුණු යුගයක සිට හරිත බලශක්තිය දක්වා වූ මේ සංක්‍රාන්තිය, පරිසරය සුරකිමින් ආර්ථිකය නංවාලීමට ඇති හොඳම මඟයි.


දුම්රිය සේවය මීට වසර 200කට පෙර ලෝකය වෙනස් කළා සේම, සාගරයේ කැරකෙන මේ දැවැන්ත සුදු පැහැති පියාපත් ඉදිරි දශක ගණනාව පුරා ලෝකය බලගන්වන ‘හරිත හදවත’ වනු නොඅනුමානය.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...