වරක් කොළඹ සිට මෙල්බර්න් බලා යන යානයක මම නින්දත් නොනින්දත් අතර සිටියෙමි. පොතක් බැලීමට හෝ එක දිගට චිත්‍රපටයක් බැලීමට මට යම් අවහිරයක් තිබුණේය. ඒ, මා අසල සිටි තරුණිය හා ඉදිරිපස අසුනේ සිටි ඇයගේ මවුපියන් යැයි සිතිය හැකි යුවළක් අතරේ කෙරෙන සංවාද හා එකිනෙකා අතර කෙරෙන හුවමාරු කරගැනීම්ය. මා දෙස සුහද බැල්මක් හෙළූ තරුණිය, “මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. තාත්තා තරමක් අසනීපෙන්. ඔබට කරදරයක් නම් සමාවන්න…” කීවාය. මම එසේ නොවන බව කීවෙමි.













