නැව් හදන මැවිසුරු සිප්යුරු අන්දරය

නැව් හදන මැවිසුරු සිප්යුරු අන්දරය

මීට දශක කිහිපයකට පෙර අප සමඟ උසස් පෙළ හැදෑරූ මිතුරෝ දෙදෙනෙක් පිළිගත් විශ්වවිද්‍යාලයක Nautical Engineering යන උපාධියට සුදුසුකම් ලැබුවෝය. ඒ දවස්වල දුටු ලේඛනයක මේ විෂයය හඳුනවා තිබුණේ ‘නෞකා චලන විද්‍යාව’ ලෙසය. තවත් මිතුරකු තේරුණේ Marine Engineering උපාධිය හැදෑරීමටය. ඔහුගේ විෂයය සිංහල භාෂාවෙන් ලියා තිබුණේ ‘නාවික ඉංජිනේරු විද්‍යාව’ කියලාය. මට වැටහුණු පරිදි මුල් දෙදෙනා හැදෑරූ විෂයය නැව් මෙහෙයවීමට වඩාත් බර තැබූ එකක් වන අතර, අනෙක් විෂයය නැවක ක්‍රියාකාරිත්වය, එංජින් හා නඩත්තුව ඇතුළු විෂයයන්ට වඩාත් බර බවය. කෙසේ වුවත් මේ සියලු දෙනා අද ලෝ පුරා පිළිගත් නැව් සමාගම්වල කපිතාන්වරුන් හා ඉංජිනේරුවන් ලෙස සේවය කරති.

 

ගිය සතියේ ලිපිය අවසානයට ඉස්තාන්බුල් නුවරින් හමු වූ තියෝඩිසිස් වාරයේ නටබුන් ගැන කතා කළෙමි. අතිනවීන ඉංජිනේරු නිර්මාණයක් වූ මාර්මරේ දුම්රිය උමඟ කැණීම වසර කිහිපයක් ප්‍රමාද කිරීමට පැරණි කොන්ස්තන්තිනෝපල් නගරයේ වසර දහස් ගණනක නාවික හා මානව ජනාවාස පිළිබඳ තොරතුරු හෙළි කරන කෞතුක වස්තු තෝරා බේරා පරිස්සම් කිරීමේ මෙහෙයුමද හේතුවක් විය.

 

එහිදී හමු වූ පුරාණ නැව් රාශියක නටබුන් ලොවට කියන කතාවක් තිබේ. සියවස් ගණනක් තිස්සේ ලෝකයේ අගනුවර හැටියට අනියමින් හැඳින්වුණු කොන්ස්තන්තිනෝපලය සිය බල පරාක්‍රමය මෙහෙයවූයේ පුරාතනයේ පටන් ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් වූ නිසාත් නාවික තාක්ෂනය පිළිබඳ ඉතා ඉහළ දැනුමක් සතු කරගෙන තිබු නිසාත්ය. අනෙක් අතට නෞකා සැලසුම් කිරීම, ඉදි කිරීම හා මෙහෙයවීම ආශ්‍රිත ව්‍යාපෘතිවලින් බොහෝ වටිනා දැනුම් සම්භාරයක් ලොවට දායාද වී තිබේ. ඉන් එකක් වන්නේ ව්‍යාපෘති කළමනාකරණයේදී භාවිත වන සැලසුම් හා කාල කළමනාකරණයයි. නාවික විද්‍යාවේම දිගුවක් වන සබ්මැරීන නිර්මාණය හා අදාළ වූ ව්‍යාපෘති කළමනාකරණ න්‍යායක් අදටත් සෑම ක්ෂේත්‍රයකම යොදා ගැනේ.

 

 

කිසියම් අද්විතීය නව සොයාගැනීමක් ලෝකයට වටින්නේ යම් සේද ඒවා නිර්මාණය කිරීමේදී යොදාගන්නා ක්‍රමද, මුදල් හා කාලය කළමනාකරණය කරගැනීමේ ක්‍රමද මානව සමාජයට අතිශය වැදගත් වෙයි. මේවා පෙර නිර්මාණවල රශ්මිය නිසා සමහර විට අවධානයෙන් මඟහැරී යයි. සමහර විට ඒ දැනුම රටකින් රටකට සංක්‍රමණය නොවී, පෙර කී අවසන් නිර්මාණය පමණක්ම හුවමාරු වේ. මේ නිසා අප වැනි රටවල් ව්‍යාපෘති කළමනාකරණයේදී නොසලකා හරින විෂයපථය හඳුනාගැනීම, මුදල් කළමනාකරණය, කාල කළමනාකරණය හා අවදානම් කළමනාකරණය වැනි ලෝක දැනුමින් විශාල කොටසක් බිහි වී ඇත්තේ නාවික කර්මාන්තය ආශ්‍රිතවය.

‘නාවික ඉංජිනේරු විද්‍යාව’ හෝ ‘නාවික කර්මාන්තය’ යන වචන ඇසෙන විට බොහෝ විට අපේ මනසට නැඟෙන්නේ විශාල නැව් හෝ වරාය ආශ්‍රිත ක්‍රියාකාරකම්ය. එහෙත්, මේ විෂය ක්ෂේත්‍රය ඊට වඩා පුළුල් වන අතර, ව්‍යාපෘති කළමනාකරණය සමඟ එහි සමීප සම්බන්ධයක් පවතී.

 

නෝවාගේ නැව පිළිබඳ කතාව ආගමික ග්‍රන්ථවල සහ ජනප්‍රවාදවල සඳහන් වන ප්‍රසිද්ධ සිදුවීමකි. නැඟෙනහිර තුර්කියේ අරාරත් කඳුකරය අසලින් සොයාගනු ලැබූ අඩි 600ක් පමණ දිග පැරණි ගිනි කන්දක ස්වාභාවික භූගෝලීය පිහිටීමක් මුල් නෝවාගේ නැව ලෙස ඇතැම් අය විශ්වාස කරති. මීට අමතරව, ක්‍රි.පූ. 2900දී මෙසපොතේමියාවේ ඇති වූ දැවැන්ත ජලගැලීමක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධකද සොයාගෙන ඇත. මුළු ලෝකයම ගිල්ලාදැමූ ජලගැලීමක් පිළිබඳ කතාව සහ නෝවාගේ නැවේ ජනප්‍රවාදය පරම්පරාගත මතකයන් සමඟ බද්ධ වී ඇති බව විශ්වාස කෙරේ.

 

රෝමවරුන් පළමු පියුනික් යුද්ධයේදී (ක්‍රි.පූ. 260 පමණ) දින 60ක් වැනි කෙටි කාලයක් තුළ නැව් බලඇණියක්ම ඉදි කිරීමට සමත් වූ බවට වාර්තා තිබේ. මෙන්න මේ ක්‍රියාවලිය සැලසුම් කිරීම හා නිම කිරීම නවීන ව්‍යාපෘති කළමනාකරණයේදී යොදාගන්නා ක්‍රියාවලීන්වල මුලාරම්භයක් වූවා වන්නට බැරි නැත. ඔවුන් මේ සඳහා යොදාගත්තේ නැව් කොටස් ප්‍රමිතිකරණය කර, වැඩ කටයුතු රාශියක් සමාන්තරව සිදු කිරීමයි. මෙය වර්තමාන ව්‍යාපෘති කළමනාකරණයේදී භාවිත වන ක්‍රියාදාමයකි.

 

අප කතාබහ කළ ඉස්තාන්බුල්හි මාර්මරේ උමං ව්‍යාපෘතිය ඉදි කිරීමේදී හමු වූ තියෝඩෝසියස් වරාය ඇතුළත තිබී බයිසැන්තියානු නැව් සුන්බුන් 30කට අධික සංඛ්‍යාවක් හමු විය. මේවා ඉලක්කගත මෙහෙයුමකට නැතිව වෙන වෙනම නිර්මාණය කළා නම් ඔවුන් අනුක්‍රමික සැලසුම්කරණ ක්‍රමවේද (sequential planning methods) භාවිත කළ බව අනුමාන කළ හැකිය. මුලින් රාමුව ඉදි කර, පසුව නැව් බඳ ඉදි කිරීමේ ක්‍රමය හා මුලින් ලෑලි පුරුද්දා නැව් බඳ ඉදි කර, ඉන් පසු නැව් රාමුව ඉදි කිරීමේ ක්‍රමය යන දෙයාකාරයම ඔවුන් යොදාගෙන තිබිණි. පොළොව ඇතුළට ගිලා බැස්සූ දැව කඳන් රාශියක් මත ඉදි කළ ජැටිය ඉපැරණි කොන්ස්තන්තිනෝපල් වරායේ විශේෂ අංගයක් විය.

 

මින් වසර දහසකට පමණ පෙර ක්‍රියාත්මක වූ ඉතාලියේ වෙනීසියානු නැව් තටාකය (Venetian Arsenal) නැව් ඉදි කිරීම කාර්මීකරණය කළේය. ඔවුන් දහස් ගණනක් විශේෂඥයන් යොදාගෙන, එකලස් කිරීමේ ක්‍රමවේදයක් (assembly-line) මඟින් නැව් තැනූ අතර, එමඟින් නැව් ඉදි කිරීමට ගත වන කාලය බෙහෙවින් අඩු කිරීමට හැකි විය.

මේ සියලු ක්‍රමවේද අබිබවා ගිය සන්ධිස්ථානයක් ඇති වූයේ සීතල යුද්ධ සමයේ ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික හමුදාවේ පොලාරිස් සබ්මැරීන වැඩසටහනත් සමඟය. මේ ව්‍යාපෘතිය අතිශය සංකීර්ණ විය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ඉදි කිරීමට අමතරව, මිසයිල තාක්ෂණය සහ මාර්ගෝපදේශ පද්ධතිද ඒ සඳහා ඒකාබද්ධ කිරීමට සිදු විය. සාම්ප්‍රදායික ක්‍රමවේද මේ සඳහා ප්‍රමාණවත් නොවූ බැවින්, වැඩසටහන් ඇගයීම සහ සමාලෝචන තාක්ෂණය (Program Evaluation and Review Technique – PERT) නමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදි. මේ ක්‍රමයේදී යොදාගන්නා වැඩසටහනේ ක්‍රියාකාරකම් අතර සම්බන්ධය දක්වන ජාල ආකෘතිය හා ක්‍රියාකාරකමක් සඳහා ගත වන කාලය ඇස්තමේන්තු කිරීමේ ක්‍රමය අද වන විට ඉහළින්ම පිළිගත් ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදයකි.

 

මේ නව ක්‍රමවේදය නිසා පොලාරිස් සබ්මැරීන ව්‍යාපෘතිය වසර 7ක් තුළ අවසන් කිරීමට මුලින් ඇස්තමේන්තු කළද, එය වසර 5කටත් අඩු කාලයකින් නිම කිරීමට හැකි විය. මෙය අවිනිශ්චිත තත්ත්ව යටතේ වුවද විධිමත් කාලසටහන්කරණයේ ඇති වැදගත්කම පෙන්නුම් කරයි.

මෙනයින් නාවික ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යාපෘති කළමනාකරණයෙන් වෙන් කළ නොහැකි විෂයයකි. පුරාණයේ ලී නැව්වල සිට වර්තමාන න්‍යෂ්ටික සබ්මැරීන දක්වා, මේ ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම ව්‍යාපෘති කළමනාකරණයේ දියුණුවට දායක වී ඇත.

 

පුරාණ නාවික යාත්‍රා කොටස් හමු වීම නිසා ලොව කීර්තිමත් ව්‍යාපෘතියක් වූ මාර්මරේ දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කාලය වැඩි වුවද, ඉන් ප්‍රතිවිරුද්ධව නැව් කර්මාන්තය විසින් ලොව පුරා ව්‍යාපෘතිවල කාලය අඩු කිරීමට උදවු වී ඇත.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Advertisement

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...