දියතලාව නගරාසන්නයේ පිහිටි අපේ ගම්මානයේ පසුගිය වසර සියයක පමණ කාලය තුළ සැලකිය යුතු පිරිසක් රජයේ රැකියාවල නිරත වූහ. ඒ අතුරින් වැඩි පිරිසක් කළ රජයේ රස්සාව වූයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අත්උදවුකරුවන් ලෙස සේවය කිරීමයි. අපේ ගම්තුලානේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හැඳින්වූයේ ‘සරුවර් එක’ යනුවෙනි. එහි රැකියාව කළ අය ගැන කීවේ ‘සරුවර් එකේ වැඩ කරනවා’ කියාය.
දියතලාවේ සරුවර් එකත්, ඒ අවට පිහිටි හමුදා කඳවුරුත් නිසා ගමේ සාක්ෂරතාව සහ ලෝක දැනුම ඇති මිනිසුන් බහුල වීමට සැලකිය යුතු බලපෑමක් ඇති විය. සරුවර් එකේ සේවය කළ බොහෝ දෙනා රට පුරා ඈත දනව්, නියම්ගම්, කඳුකර සහ වන ලැහැබ් මැනීමට ගියහ. මාස ගණනක් නිවෙසින් බැහැරව සිට නැවත ගමට පැමිණි ඔවුන් අතුරින් ඇතැමෙක් තමන් ගිය ඈත ගමකින් ප්‍රියමනාප යුවතියකද කැඳවාගෙන ආවෝය. එසේ අපේ ගමේ පවුල්වලට රටේ විවිධ පළාත්වල සිරිත් විරිත්, භාෂා ව්‍යවහාර සහ ලේ උරුමයද එක් විය.
එකල සරුවර් එකේ පියාගෙන් පුතාට රැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක්ද තිබූ බව ගමේ පැරැණියෝ කියති. ඒ නිසා මිනින්දෝරු දෙපාර්තමේන්තුව යනු අපේ ගමේ පවුල් ගණනාවක ජීවිත පරම්පරා කිහිපයක් පුරා බැඳී තිබුණු ආයතනයක් විය. එහි රැකියාව වැටුපක් ලැබෙන සේවයක් පමණක් නොව, ගම්මානය හා රටේ සෙසු ප්‍රදේශ අතර දැනුම, අත්දැකීම් හා මිනිස් සබඳතා හුවමාරු කළ පාලමක්ද වූයේය.
එහෙත් දියතලාවේ මිනින්දෝරු කඳවුරේ සේවය කළ අයගේ දරුමුනුපුරන්ගෙන් බොහෝ දෙනාවත්, දියතලාව අවට වාසය කරන ජනතාවවත්, දියතලාව සහ බණ්ඩාරවෙල සංචාරය කර ඇති ලක්ෂ සංඛ්‍යාත පිරිසවත් නොදන්නා අපූරු දෙයක් තිබේ.
ඒ, දියතලාවේ මිනින්දෝරු කෞතුකාගාරයක් තිබෙන බවය. අද එය ‘ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් කෞතුකාගාරය’ (Dr. R. L. Brohier Museum) ලෙස හඳුන්වනු ලැබේ.
එමෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජික සාමාජිකාවන් දහස් ගණනක් අතර පවා එතරම් ප්‍රකට නොවූ තවත් අපූරු කරුණක් තිබේ. ඉංජිනේරු උපාධියක් නොතිබූ මිනින්දෝරුවකු 1956 වසරේ එම ආයතනයේ පූර්වගාමි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා වී තිබීමයි. ඒ මිනිසා රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් හෙවත් ආර්.එල්. බ්රෝහියර්ය.
1892 ඔක්තෝබර් 5 වැනිදා උපත ලැබූ බ්‍රෝහියර් 1910දී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එක් විය. ඔහු එහි පළමු ලාංකික මිනින්දෝරුවා ලෙසද සඳහන් වේ. ඔහුගේ පවුල් මූලයන් යුරෝපීය සම්භවයන් දක්වා දිව ගියද, ඔහුගේ ජීවිත කතාව කියවන විට පෙනෙන්නේ ඔහුගේ සැබෑ අනන්‍යතාව ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් අසීමිත බැඳීම බවයි.
යම් දිනෙක ශ්‍රී ලංකාවට වැඩිම සේවයක් කළ මිනින්දෝරුවා කවුදැයි යමෙකු මගෙන් ඇසුවහොත්, මගේ පිළිතුර දෙවරක් නොසිතාම “ආර්.එල්. බ්‍රෝහියර්” යන්නයි.
එහෙත් ඔහු “මිනින්දෝරුවෙක්” යන එක් වචනයකින් හඳුන්වා අවසන් කළ නොහැකි අයෙකි. ඔහු ඉතිහාසය සොයා ගිය පර්යේෂකයෙකි; පුරාවිද්‍යාවට හා මානව ජීවිතයට ඇලුම් කළ නිරීක්ෂකයෙකි; සංචාරක ලේඛකයෙකි; ස්වභාවධර්මයට ආදරය කළ සංවේදි මිනිසෙකි; ඒ සියල්ලටත් වඩා, ශ්‍රී ලංකාව නම් දිවයිනේ ආත්මය කියවා ලෝකයට හඳුන්වා දුන් මහා ලේඛකයෙකි.
අද අප GPS, ඩ්‍රෝන යානා හා චන්ද්‍රිකා තාක්ෂණයෙන් මිනිත්තු කිහිපයකදී භූමිය මනිමු. එහෙත් මීට සියවසකට පෙර රට මිනූ මිනිසුන්ට තිබුණේ තියෝඩලයිටයක්, මිනුම් දාමයක්, සටහන් පොතක් සහ අප්‍රමාණ ධෛර්යයකි.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදින් වසර දෙසියයකටත් පෙර ආරම්භ වූ මෙරට පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රටේ ඉඩම් හා මායිම් මැනීමේ සිට මාර්ග, දුම්රිය, වාරිමාර්ග හා නගර සංවර්ධනය දක්වා රට ගොඩනැඟීමේ හැම අදියරකටම මේ මිනුම් පදනම විය. මාර්ගයක් තැනීමට පෙර, ජලාශයක් ඉදි කිරීමට පෙර හෝ දුම්රිය මාර්ගයක් සැලසුම් කිරීමට පෙර භූමිය කියවන්නට සිදු විය. ඒ අර්ථයෙන් මිනින්දෝරුවා යනු ඉංජිනේරුවාට කලින් භූමිය කියවා දෙන විද්‍යාඥයාය.
දියතලාවේ මිනින්දෝරු කෞතුකාගාරයේ පැරණි තියෝඩලයිට්, ප්ලේන් ටේබල්, මිනුම් දාම, සිතියම්, ඡායාරූප සහ වෙනත් උපකරණ අතරින් ඇවිද යන විට මේ දිගු ඉතිහාසයෙන් බිඳක් හෝ තේරුම් ගත හැකිය. ඒවා හුදෙක් පැරණි උපකරණ නොව, රටක භූමිය අඟලෙන් අඟල මැන සිතියම්ගත කළ පරම්පරාවක නිහඬ සාක්ෂිය.
සාමාන්‍ය මිනින්දෝරුවා භූමියේ දිග-පළල මැන, එය ද්විමාන සිතියමකට ගෙන ආවේය. බ්‍රෝහියර් එතැනින් නතර වූයේ නැත. ඔහු ඒ භූමියේ ජීවත් වූ මිනිසුන්, ඔවුන්ගේ ජනප්‍රවාද, ජීවන රටා, වාරි සංස්කෘතිය සහ ඉතිහාසයද ඒ මිනුමට එක් කළේය. එසේ බැලූ විට ඔහු කළේ රටේ භූමිය මැනීම පමණක් නොව, එයට මිනිස් ජීවිතය එක්කොට ත්‍රිමාණ කියවීමක යෙදීමකි. එපමණක් නොව, ඔහු ඒ දුටු දේ අනර්ඝ ලෙස ලියා තැබුවේය.
ඒ නිරීක්ෂණ පසුව Seeing Ceylon, Discovering Ceylon, Ancient Irrigation Works in Ceylon, Changing Face of Colombo ආදි කෘති ඔස්සේ නැවත අප වෙත පැමිණියේය. පැරණි වැවක් පිළිබඳ ලියන විට බ්‍රෝහියර් එහි ජනප්‍රවාදය පමණක් නොලියයි. වැව් බැම්මේ පිහිටීම, ජලය ගලා යන ආකාරය, ඇළ මාර්ග සහ භූමිය අතර ඇති ඉංජිනේරු සම්බන්ධතාවද මිනින්දෝරුවකුගේ ඇසින් කියවයි. එබැවින් ඔහුගේ පොත් සංචාරක සටහන් පමණක් නොව, රටේ භූමිය හා මිනිසා එකවර කියවන ලේඛන බවට පත් වේ.
බ්‍රෝහියර් පිළිබඳ එතෙක් මා නොදැන සිටි අපූරු කරුණක් දැනගත්තේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට ගිය මුල්ම දිනයකදීය. එදා මෙදාතුර එහි සභාපතිවරුන්ගේ සේයා රූ පෙළ අතර බ්‍රෝහියර්ගේ තේජවන්ත රුව දුටු මම මොහොතකට පුදුමයට පත් වීමි.
“බ්‍රෝහියර් ඉංජිනේරුවෙක්ද?”
ඒ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ එවිටය. ඉංජිනේරු උපාධියක් නොතිබූ මේ මිනින්දෝරුවා එම ඉංජිනේරු ආයතනයේ පූර්වගාමි සංගමයේ සභාපති පුටුව දක්වා පැමිණ තිබීම, ඔහුගේ විද්වත්භාවයට හා වෘත්තීය පිළිගැනීමට ලැබුණු සුවිශේෂ ගෞරවයක් ලෙස මට පෙනේ.
මාර්ටින් වික්‍රමසිංහ අපේ ගම හා එහි මිනිසා සිංහලෙන් අමරණීය කළේ නම්, බ්‍රෝහියර් ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය, භූමිය හා උරුමය ඉංග්‍රීසි බසින් ලෝකයට ගෙන ගියේය.
දියතලාවේ ඇති මේ කෞතුකාගාරය සාමාන්‍ය ජනතාවට හා සංචාරකයන්ට පහසුවෙන් ළඟා විය හැකි ආකාරයට තවදුරටත් සංවර්ධනය කර ප්‍රවර්ධනය කළ හැකි නම්, එය දියතලාවට සුවිශේෂ සංචාරක හා අධ්‍යාපනික වටිනාකමක් එක් කරනු ඇත. බ්‍රෝහියර්ගේ යුරෝපීය පවුල් මූලයන්, මිනින්දෝරු ජීවිතය, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසය සහ ඔහුගේ ලේඛන එක් කතාවක් ලෙස එහි ඉදිරිපත් කළ හැකිය.
එවිට එය පැරණි මිනුම් උපකරණ තැන්පත් කර ඇති කෞතුකාගාරයක් පමණක් නොව, ශ්‍රී ලංකාව මැනගත් මිනිසුන්ගේ කතාව කියන, දෙස් විදෙස් සංචාරකයන් ඇදගන්නා ජීවමාන මධ්‍යස්ථානයක් බවට පත් වනු ඇත.
බ්‍රෝහියර් ගැන කියන්නට තවත් බොහෝ දේ තිබේ. මිනින්දෝරුවකු ලෙස ඔහු රටේ භූමිය මැන්නේය; ලේඛකයකු ලෙස ඒ භූමියට මිනිසාත්, ඉතිහාසයත්, මතකයත් එක් කළේය.
ශ්‍රී ලාංකිකයන් වඩාත්ම ණයගැති මිනින්දෝරුවා ආර්.එල්. බ්‍රෝහියර් යැයි මා නැවතත් කියන්නේ ඒ නිසාය. ඔහු ගැන තවත් දවසක නැවත ලියන්නට සිතා සිටිමි.