ආචාර්ය බ්‍රෝහියර් දුටු ලංකාව

තිලකසිත1 week ago2.4K Views

පසුගිය සතියේ ‘තිලක සිත’ අවසන් කළේ ශ්‍රී ලාංකිකයන් වඩාත්ම ණයගැති මිනින්දෝරුවා ආර්.එල්. බ්‍රෝහියර් බව කියමිනි. දියතලාවේ මිනින්දෝරු කෞතුකාගාරය ගැනත්, ඉංජිනේරු උපාධියක් නොතිබුණද මෙරට ඉංජිනේරු වෘත්තීය සංගමයක සභාපති පුටුව දක්වා පැමිණි මේ අපූරු මිනිසා ගැනත් තවත් දවසක ලියන බව එහිදී පොරොන්දු වීමි. ඒ පොරොන්දුව ඉටු කිරීමට මෙවර ‘තිලක සිත’ වෙන් කරමි.

රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් උපන්නේ 1892 ඔක්තෝබර් මාසයේය. ඔහුගේ පවුල් මූලයන් ප්‍රංස හා නෙදර්ලන්ත සම්භවයන් දක්වා දිව ගියද, ඔහුගේ ජීවිතයත් ලේඛනත් කියවන විට දැනෙන්නේ මේ කුඩා දිවයින සමඟ ඔහු ඇති කරගත් අප්‍රමාණ බැඳීමයි. 1910දී තරුණයකු ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහුගේ ජීවිතයේ විශාල කොටසක් ගෙවුණේ ලංකා භූමිය සමඟය.

ඔහුට අන්තර්ජාතිකව පිළිගත් වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් තිබිණි. එහෙත් ඔහුගේ සැබෑ විශ්වවිද්‍යාලය වූයේ මෙරට කඳු, වනාන්තර, වැව්, ගංගා සහ ඈත ගම් නියම්ගම්ය.

 

මිනින්දෝරු රැකියාව නිසා එකල සාමාන්‍ය නාගරිකයකුට කිසිදා ළඟා විය නොහැකි ලංකාවක් බ්‍රෝහියර්ට දැකගන්නට ලැබිණි. හේ රජරට වන ළැහැබ් මැදින් ඇවිද ගියේය; අත්හැර දැමූ වැව් බැමි මත පිය නැඟීය; පැරණි ඇළ මාර්ග සොයා ගියේය; වියළි කලාපයේ නටබුන් වූ ජනාවාස දුටුවේය.

 

සිතියමක මිනුම් සලකුණු කිරීමට ගිය ගමනකදී වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක පා සටහන් ඔහුට හමු විය. එතැනදී මිනින්දෝරුවා තුළ සිටි ලේඛකයාත්, ඉතිහාස ගවේෂකයාත් අවදි වන්නට ඇත.

 

අපේ පැරණි වැව් ගැන කතා කරන විට අපට බොහෝ විට මතක් වන්නේ පරාක්‍රම සමුද්‍රය, කලා වැව, මින්නේරිය වැනි මහා ජලාශ කිහිපයකි. එහෙත්, බ්‍රෝහියර්ට ඒවා පෙනුණේ වෙන වෙනම පිහිටි හුදෙකලා ජලාශ ලෙස නොවේ. භූමියේ උස් පහත්කම්, ගංගා, ඇළ මාර්ග, කුඹුරු, ගම්මාන සහ මිනිසා එකිනෙක සම්බන්ධ කළ දැවැන්ත ජල කළමනාකරණ පද්ධතියක කොටස් හැටියටය. ‘Ancient Irrigation Works in Ceylon’ වැනි විශිෂ්ට කෘති බිහි වන්නේ එවැනි දැක්මකිනි.

 

පැරණි වැවක් ගැන ලියන විට ඔහු එහි නම, දිග හා පළල කියා නතර වූයේ නැත. වැව මෙතැන තැනුවේ ඇයි? ජලය පැමිණියේ කොතැනින්ද? ඇළ මාර්ග අනෙක් වැව් සමඟ සම්බන්ධ වූයේ කෙසේද? ඒ වටා ජනාවාස බිහි වූයේ ඇයි? ඔහු සෙවුවේ ඒ ප්‍රශ්නවලට පිළිතුරුය.

 

ඒ නිසා බ්‍රෝහියර් අපේ ඉතිහාසය කියවූයේ රජවරුන්ගේ නම් හා යුද්ධවලින් පමණක් නොවේ; මිනිසුන් භූමිය මත ඉතිරි කර ගිය සැබෑ නිර්මාණ ඔස්සේය.

 

ඔහුගේ පොත් අතුරින් මා වඩාත් කැමැති නමක් ඇති කෘතිය 1965දී පළ වූ ‘Seeing Ceylon’ ය.

ආර්.එල්. බ්‍රෝහියර්

‘Seeing Ceylon – ලංකාව දැකීම’

 

රටක ජීවත් වීමත් රටක් දැකීමත් දෙකකි. සමහර විට රටක මුළු ජීවිතයම ගෙවන මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ රට සැබෑවටම නොදැක මිය යති. අනුරාධපුර පොලොන්නරු යුගවලින් පසු ශතවර්ෂ ගණනාවක් මෙරට ජීවත් වූ පරම්පරා ගණනාවකට නොපෙනී ගිය ලංකාවක කොටස් බ්‍රෝහියර් නැවත සොයාගත්තේය.

 

අදත් ඔහුගේ පොත් අතට ගත් විට බ්‍රෝහියර් සමඟ ඒ පැරණි ලංකාව වටා ගමනක් යා හැකිය. අනුරාධපුරයේ වැව්වලින් ඇරඹෙන ඒ ගමන රිටිගල, මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය, කලාඔය, යෝධ වැව, කන්තලේ, පදවිය, ගල්ඔය සහ රුහුණ දක්වා විහිදෙයි.

 

එහෙත් ඔහු අපට පෙන්වන්නේ වැව් පමණක් නොවේ. ඒවා තැනූ මිනිසුන්, නියඟය හා ගංවතුර අතර ජීවත් වූ මිනිසුන් ජලය රඳවාගත්තේ කෙසේද, වැව, ඇළ, කුඹුර සහ ගම එකම ජීව පද්ධතියක් බවට පත් කළේ කෙසේද යන්න විමසයි.

 

ඉන් පසු ඔහු අප දකුණු වෙරළ දිගේ කැඳවාගෙන යයි; ගල්කිස්ස, කළුතර, බේරුවල, බෙන්තොට හරහා ගාල්ල, මාතර, දෙවිනුවර, හම්බන්තොට, තිස්සමහාරාමය සහ යාල දක්වා යයි; තවත් තැනක ශ්‍රී පාදය හා සමනොළ අඩවිය වටා සියවස් ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු ජනප්‍රවාද සොයයි. බ්‍රෝහියර්ගේ විශේෂත්වය එතැනදී වඩාත් පැහැදිලි වේ.

 

බ්‍රෝහියර් තමා මිනින්දෝරුවකු ලෙස මැනගත් ද්විමාන භූමියට ඉතිහාසය, ජනප්‍රවාද, සංස්කෘතිය සහ මිනිස් ජීවිතය එක් කර ත්‍රිමාන ලංකාවක් නිර්මාණය කළේය; නොඑසේ නම් අපේ රට සැඟවී තිබූ ත්‍රිමාන වටිනාකම අපට පෙන්වා දුන්නේය.

 

ඒ නිසා ‘Seeing Ceylon’ සාමාන්‍ය සංචාරක මාර්ගෝපදේශයක් නොවේ. මාර්ග වෙනස් වෙයි. පැරණි ගම් අතුරුදන් වෙයි. පරම්පරා මිය යයි. ඒ පරම්පරා සමඟ ජනප්‍රවාද හා වාචික මතකද මියයා හැකිය. බ්‍රෝහියර් ඒවායින් බොහොමයක් ලියා අනාගතයට තබා ගියේය. අභය හේවාවසම් මේ පොත සිංහලයට පරිවර්තනය කළ විට එයට දුන් ‘බ්‍රෝහියර් දුටු ලංකාව’ යන නම ඒ නිසාම අපූරුවට ගැළපෙයි.

 

ඔහුගේ ලේඛන ලෝකයද පුළුල්ය. ‘Land, Maps and Surveys’, ‘The Gal Oya Project in Ceylon’, ‘Discovering Ceylon’, ‘Food and the People’, ‘Links Between Sri Lanka and the Netherlands’, ‘Changing Face of Colombo’ වැනි කෘති දෙස බැලූ විට මිනින්දෝරු මායිම්වලින් බොහෝ ඈතට ඔහුගේ කුතූහලය ගමන් කළ අයුරු පෙනේ.

 

කලකට පෙර ‘ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය’ හෙවත් ‘ගනිසම’ නමින් බලගතු රාජ්‍ය ආයතනයක් තිබූ බව මට මතකය. අප කුඩා කාලයේ ‘ගනිසම’ නම සටහන් වූ පැරණි ට්‍රැක්ටර් හා වතුර බවුසර් රජයේ කාර්යාල අසල අතහැර දමා තිබෙනුද දැක ඇත්තෙමි.

 

ඒ නමේ මුල් කතාව 1949දී පිහිටුවූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය දක්වා දිව යයි. වාරිමාර්ග, ගොවි ජනපද, කෘෂිකර්මය සහ ප්‍රාදේශීය සංවර්ධනය එකම සැලැස්මකට ගෙන ඒමේ එම දැවැන්ත වැඩපිළිවෙළ සමඟ බ්‍රෝහියර්ද සම්බන්ධ විය.

 

පැරණි ලංකාවේ වැව් හා ඇළ මාර්ග සොයා ගිය මිනිසකු නිදහස් ලංකාවේ දැවැන්ත නව වාරි හා ජනපද සංවර්ධන වැඩපිළිවෙළකට සම්බන්ධ වීම ඉතිහාසයේ අපූරු හමුවීමකි.

 

1965දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය පිහිටුවීමත් සමඟ ගංගා නිම්නයක්, භූමියක්, කෘෂිකර්මය සහ ජනාවාස එකම සංවර්ධන පද්ධතියක් ලෙස බැලීමේ සංකල්පය තවදුරටත් පුළුල් විය. පසුව මහවැලි වැනි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ වෙනම ආයතනික මාර්ගයකින් ඉදිරියට ගියද, ගල්ඔය ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධන ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒ කතාවේ කොතැනක හෝ බ්‍රෝහියර්ගේ පා සටහනද තිබේ.

 

නවීන ශ්‍රී ලංකාව ගල්ඔය හා මහවැලි වැනි මහා ව්‍යාපෘති ගැන සිතන්නත් පෙර බ්‍රෝහියර් අපේ පැරණි වාරි ශිෂ්ටාචාරයේ වැව, ඇළ, භූමිය සහ ජනාවාස අතර තිබූ සම්බන්ධතාව සොයාගෙන තිබිණි. ඔහු ඒවා මැන්නේය; සිතියම්ගත කළේය; ඉතිහාසය සොයා බැලුවේය; අවසානයේ පොත්වල ලියා අනාගතයට දායාද කළේය.

 

1980දී බ්‍රෝහියර් ජීවිතයෙන් සමු ගත්තේය. එහෙත් ඔහු දුටු ලංකාව අප තවමත් කියවා හමාර නැත.

 

අද ‘ගූගල් සිතියම්’ මඟින් තත්පර කිහිපයකින් කලා වැව සොයාගත හැකිය. චන්ද්‍රිකා ඡායාරූපයකින් අහසේ සිට එය දැකිය හැකිය. එහෙත් එය ‘දැකීම’ පමණි. ඒ වැව තැනූ මිනිසුන්ගේ කතාව, එය වටා බිහි වූ ශිෂ්ටාචාරය, පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ ජනප්‍රවාද සහ ඒ පොළොවේ සැඟවුණු මතක සොයා යෑම ඊට වඩා අපූරු හා වෙනස් දෙයකි. සියවසකට පෙර ‘ගූගල් සිතියම්’ තබා මූලික ගමනාගමන පහසුකම්වත් නොතිබුණු යුගයක බ්‍රෝහියර් එය කළේය.

 

Read Original ArticleHere

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...