අපිම හදමු අපගේ තෙල් ටැංකී…

මේ දින­වල ලෝකයේ බොහෝ රට­ව­ලදී මෙන්ම ශ්‍රී ලංකා­වේ­දීත් කතා­බහ කරන දෙයක් වන්නේ ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකි­යා­වයි. අපට තව තවත් ගබඩා පහ­සු­කම් අවශ්‍ය බව කියවේ. දෙවැනි ලෝක යුද්ධ­ය­ටත් පෙර ත්‍රිකු­ණා­ම­ලයේ ඉදි වූ තෙල් ටැංකි අනූ ගණන ගැනද කතා­බහ මතු වෙයි. මේ උණු­සුම මැද මට හිතුණේ යෝධ තෙල් ටැංකි ඉදි කිරීමේ පසු­බිම ගැන කතා කර­න්නය.

 

ලෝකය දුවන්නේ තෙල් මතය. එහෙත් ඒ තෙල් ආර­ක්ෂි­තව රඳවා තැබිය හැකි වානේ ටැංකි­යක් නිර්මා­ණය කිරීම පිටු­පස ඇති ඉංජි­නේ­රු­මය කතාව බොහෝ දෙන­කුට රහ­සකි. අදින් වසර තිහ­කට පමණ පෙර, 1996 හා 1997 වස­ර­ව­ලදී රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ (SEC) පෑලි­ය­ගොඩ මධ්‍යම වැඩ­පොළේ තෙල් ටැංකි අලු­තින් ඉදි කිරීමේ හා පිළි­ස­කර කිරීමේ කට­යුතු සිදු විය.

 

එකල පෑලි­ය­ගොඩ මධ්‍යම වැඩ­පොළ වෙත සපු­ග­ස්කන්ද තෙල් පිරි­ප­හ­දු­වට සහ කොළො­න්නාව තෙල් ගබඩා සංකී­ර්ණ­යට අවශ්‍ය ටැංකි කිහි­ප­යක් ඉදි කිරීමේ හා පිළි­ස­කර කිරීමේ කොන්ත්‍රා­ත්තුව ලැබී තිබිණි. එකල නවක ඉංජි­නේ­රු­වකු වශ­යෙන් රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ සේවය කළ මට ව්‍යාපෘ­තිය පිළි­බඳ හරි­ය­ටම මතක නැතත්, අප එදා නිර්මා­ණය කළේ හා පිළි­ස­කර කළේ ලීටර් 40,000ක පමණ ධාරි­තා­ව­කින් යුත්, ශක්ති­මත් ආර­ක්ෂිත වැට­වල් සහිත ටැංකි සමූ­හ­යක් බව උප­ක­ල්ප­නය කර­මින් මේ ලිපිය ලියමි. ත්‍රිකු­ණා­ම­ලයේ චීන වරාය පරි­ශ්‍රයේ අප දකින ඓති­හා­සික ටැංකි­වල විශා­ලම ප්‍රමා­ණයේ ඒවාට සමාන පරි­මා­ව­කින් යුත් බව සිතෙන මේවා, රටේ ඉන්ධන සුර­ක්ෂි­ත­තාවේ තීර­ණා­ත්මක සාධ­ක­යක් විය.

 

ඕනෑම තෙල් ටැංකි­යක ප්‍රධාන අමු­ද්‍ර­ව්‍යය වන්නේ ‘වානේ තහඩු’ ය. පෑලි­ය­ගොඩ අපේ වැඩ­පොළේ මි.මී. 15ක් (සෙ.මී. 1.5) තරම් ඝන­කම තහඩු පවා නැමිය හැකි විශේ­ෂිත රෝලර් යන්ත්‍ර­යක් (Steel Rolling Machine) තිබිණි. සාමා­න්‍ය­යෙන් මේ ටැංකි සඳහා යොදා­ගන්නා වානේ තහ­ඩු­වක් අඩි 16ක් දිග සහ අඩි 4ක් පළ­ලින් යුක්තය. ඒවායේ ඝන­කම මි.මී. 10ක් හෝ 15ක් අතර වූ බව සිතමි. ලීටර් 40,000ක තෙල් බර සහ පීඩ­නය වසර ගණ­නා­වක් පුරා නොසැලී දරා ගැනී­මට නම්, මෙවැනි ඝන­කම් තහඩු භාවිත කර­මින් ටැංකියේ බිත්ති සකස් කිරීම අත්‍ය­වශ්‍ය වේ. මුලින්ම තෙල් ටැංකයේ පද­නම හා ආකෘ­තිය අවශ්‍ය ධාරි­තාව අනුව සැල­සුම් කළ යුතුය.

 

ටැංකි­යක් ඉදි වන්නේ අප ගඩොල් බිත්ති­යක් බඳි­න්නාක් මෙන් ඝන­කම් යකඩ තහඩු එකි­නෙක පෑස්සුම් කිරී­මෙනි. එහෙත් මේ තහඩු නිකම්ම එකට තබා පෑස්සිය නොහැ­කිය. මුලින්ම කළ යුත්තේ තහ­ඩුවේ දාර මනාව කපා සකස් කිරීම හෙවත් ‘Beveling’ කිරී­මයි. ඉන් පසු ඉංජි­නේරු සැල­සු­ම්ව­ලට අනුව, ටැංකියේ වට ප්‍රමා­ණ­යට ගැළ­පෙන ලෙස නිවැ­රදි වක්‍ර­තාව ලැබෙන සේ මේ තහඩු රෝලර් යන්ත්‍රය හරහා යවා නමනු ලැබේ. මෙය, පෑලි­ය­ගොඩ වැඩ­පො­ළේදී අප කළ ඉතා නිවැ­රදි විය යුතු කාර්ය­යයි. හරි හැටි නොනැ­මුණු එක තහ­ඩු­වක් නිසා මුළු ටැංකි­යේම හැඩය සහ ශක්තිය බිඳ වැටිය හැකිය.

 

වැඩ­පො­ළේදී වානේ තහඩු සූදා­නම් වන අත­ර­තුර, වැඩ­බිමේ තවත් මහා කාර්ය­යක් සිදු වේ. ටැංකි­යක් පිරවූ පසු එහි බර ටොන් ගණ­නකි. ඒ බර දරා ගැනී­මට පොළොව ශක්ති­මත් විය යුතුය. මුලින්ම අත්ති­වා­රම සඳහා විශාල ප්‍රදේ­ශ­යක් කැණීම් කර, ඒ මත වැලි සහ බොරලු ස්තර අතුරා මනාව තද කරනු ලැබේ. ඉන් පසු ටැංකියේ වානේ පතුල මල කෑමෙන් වැළැ­ක්වීම සඳහා තාර මිශ්‍ර කළ වැලි තට්ටු­වක් යොදයි. අව­සා­නයේ ටැංකියේ බර ප්‍රධාන වශ­යෙන් දරන කොන්ක්‍රීට් වළල්ල වටේට ඉදි කෙරේ.

 

බොහෝ දෙනකු අසන පැන­යක් වන්නේ ‘මේ ටැංකි­වල පතු­ලට කොන්ක්‍රීට් භාවිත නොක­රන්නේ ඇයි?’ කියාය. කොන්ක්‍රීට් යනු කොප­මණ සවි­මත් වුවද භංගුර හෙවත් බිඳෙ­න­සුලු ද්‍රව්‍ය­යකි. ටැංකියේ බර නිසා පොළොව මඳක් හෝ ගිලා බැස ගිය හොත් කොන්ක්‍රීට් පතු­ලක් පුපුරා යා හැකිය. එහෙත් වානේ පතු­ලක් නම්‍ය­ශීලි බැවින් එවැනි අව­ස්ථා­ව­කදී හානි­ය­කින් තොරව වෙන­ස්කම් දරා­ග­නියි. එසේම, කොන්ක්‍රී­ට්වල ඇති ක්ෂුද්‍ර සිදුරු හරහා තෙල් කාන්දු වී, භූගත ජල­යට එකතු වීමේ අව­දා­න­මක්ද පවතී.

 

පෑලි­ය­ගොඩ සිට හැඩ­ගැස්වූ වානේ තහඩු ලොරි මඟින් වැඩ­බි­මට ප්‍රවා­හ­නය කළ පසු තිබුණේ එක­ලස් කිරීමේ කාරි­යයි. මුලින්ම ටැංකියේ පතුල සඳහා වන තහඩු අතුරා, ඒවායේ කෙළ­වර එකි­නෙක මත මඳක් එක මත එක පිහි­ටන පරිදි (Overlap) තබා පාස්සනු ලැබේ. ඊළ­ඟට ඇත්තේ යෝධ සිලි­න්ඩ­රය හෙවත් කව­චය නිර්මා­ණය කර ගැනී­මයි. පළමු තහඩු වළල්ල අත්ති­වා­රම මත රඳවා සිරස් අතට පාස්සනු ලැබේ. මෙලෙස එක මත එක තහඩු වළලු කිහි­ප­යක් පෑස්සී­මෙන්, ටැංකියේ බිත්තිය ඉහ­ළට ඉදි වේ.

 

මේ පෑස්සුම් කට­යුතු විශේෂ පළ­පු­රු­ද්දක් සහිත ශිල්පීන්ට පම­ණක් කළ හැකි දෙයකි. ඔවුන් හඳු­න්වනු ලබන්නේ X-Ray මට්ටමේ පෑස්සු­ම්ක­රු­වන් කියාය. ඒ, ඔවුන් සිදු කරන පෑස්සු­මක් විශේෂ X කිරණ යන්ත්‍ර­ය­කින් පිරික්සා බලා එහි පූර්ණ­ත්වය සහ­තික කර ගන්නා බැවිනි. ඉන් පසු ඇත්තේ ටැංකියේ වහල සවි කිරී­මයි. බොහෝ විට මේවා කේතු­කා­කාර වහ­ල­වල් වේ. වහල වෙනම වානේ රාමු සැකි­ල්ලක් මත අතු­රනු ලබන තහඩු වැස්ම­කින් සම­න්විත වේ.

 

තෙල් ටැංකි­යක වැද­ගත්ම දේ කාන්දු­වක් සිදු නොවී­මයි. එබැ­වින් සෑම පෑස්සුම් දාර­යක්ම ඉතා දැඩි සුප­රී­ක්ෂා­වට ලක් කෙරේ. බොහෝ විට විශේෂ පිරි­ක්සුම් ක්‍රම මඟින් පෑස්සු­ම්වල සියුම් සිදුරු හෝ තිබේ­දැයි පරීක්ෂා කැරේ. ටැංකිය සම්පූ­ර්ණ­යෙන් නිම කළ පසු, ඊට ජලය පුරවා, එහි බර දරා­ගැ­නීමේ හැකි­යාව සහ කාන්දු නොවන බව තහ­වුරු කර­ගනු ලැබේ. ජලය පුරවා කරනු ලබන පරී­ක්ෂාව අති­ශය තීර­ණා­ත්මක එකකි. එහිදී යම් පෑස්සු­මක් දුර්වල වුව හොත් එය වහාම හඳු­නා­ගෙන අලු­ත්වැ­ඩියා කැරේ.

 

අද දවසේ ඉන්ධන පෝලිම් හෝ තෙල් මිල ගැන කතා කරන අපට, ඒ පිටු­පස නිහ­ඬව සේවය කරන මේ වානේ ටැංකි ගැන මතක් වන්නේ කලා­තු­ර­කිනි. එදා රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ යන්ත්‍ර­යෙන් හෝ අන් තැනෙක කවා­කා­රව නවන ලද ඝන­කම් යකඩ තහඩු අද­ටත් සපු­ග­ස්කන්දේ, කොළො­න්නාවේ හෝ කෙර­ව­ළ­පි­ටි­යේදී ලීටර් දහස් ගණ­නක බර දරා ගෙන රටේ බල­ශ­ක්තිය රැක ගනි­මින් සිටි­නවා නේදැයි මට සිතේ.

 

තෙල් ටැංකි­යක ආයු කාලය තීර­ණය කරන තවත් ප්‍රධාන සාධ­ක­යක් වන්නේ මල කෑමෙන් එය ආරක්ෂා කර ගැනී­මයි. වානේ තහඩු නිත­රම වාතයේ ඇති තෙත­ම­න­යට සහ ලවණ ගති­යට නිරා­ව­ර­ණය වන බැවින්, ඒවායේ මතු­පිට ඉතා ක්‍රම­වත්ව පිරි­සුදු කර පින්තාරු කළ යුතුය. සාමා­න්‍ය­යෙන් ටැංකි­යක පිටත බිත්ති සඳහා සුදු හෝ රිදී පැහැති පරා­ව­ර්තක සායම් යොදනු ලබන්නේ සූර්ය රශ්මිය නිසා ඇතු­ළත තෙල් රත් වී වාෂ්ප වීම අවම කිරී­ම­ටයි. එසේම, ටැංකියේ පතුල පස සමඟ ස්පර්ශ වන බැවින් එහි මල කෑම වැළැ­ක්වී­මට කැතෝ­ඩික ආර­ක්ෂ­ණය වැනි උසස් තාක්ෂ­ණික ක්‍රම­වේද භාවිත කැරේ. අද වන විට නවීන යන්ත්‍ර සූත්‍ර පම­ණක් නොව, රොබෝ උප­ක­රණ පවා විසල් තෙල් ටැංකි ඉදි කිරීමේ කට­යු­තු­ව­ලට යොදා ගැනේ.

 

රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ පෑලි­ය­ගොඩ වැඩ­පොළේ ඒ කාර්ය­බ­හුල පරි­ස­ර­යත්, වානේ තහ­ඩු­වක් රෝල් කරන විට නඟෙන ඒ ගැඹුරු හඬත් තව­මත් මගේ මත­කයේ රැඳී පවතී. එය අරුම පුදුම තාක්ෂ­ණ­යක් නොවු­ණත් අපේ රටේ තිබෙන තෙල් ටැංකි පිළි­ස­කර කිරී­ම­ටත්, අලුත් ඒවා ඉදි කිරී­ම­ටත් විදෙස් දැනුම හෝ ආධාර ලැබෙන තුරු බලා සිටිය යුතු නැති බව මගේ හැඟී­මය.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...