පසුගිය ලිපියෙන් මම බටහිර කසකස්තානයේ තෙංගීස් තෙල් නිධියේ පැවති දැඩි ආරක්ෂණ සංස්කෘතිය සහ ඩිජිටල් විනය පිළිබඳ මගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගත්තෙමි. අද මා කතා කරන්නට සැරසෙන්නේ, ලෝකයේ දැවැන්තම තෙල් ව්‍යාපෘතිවලින් එකක් වන තෙංගීස්හි මා දුටු ‘බැක්-ටු-බැක්’ සේවා මුර ක්‍රමය, පද්ධතිමය කළමනාකරණය සහ එහි පිටුපස තිබූ ඉංජිනේරුමය විස්කම් පිළිබඳවය.
2007 වසරේ තෙංගීස්හි සේවය කරන සමයේ, අපේ නවාතැන් කඳවුරේ සිට වැඩබිම වෙත ගමන් කරන විට පාරෙන් මඳක් ඔබ්බෙන් පිහිටි විශාල කහ පැහැති කඳුවැටියක් මගේ කුතුහලය ඇවිස්සීය. පාළු ස්ටෙප්ස් තණබිම් මැද හදිසියේම මතුවන එම ළා කහ පාට කන්ද මුලින්ම දුටු විට මම එය ස්වාභාවික එකක් යැයි සිතුවෙමි. එහෙත් පසුව දැනගත්තේ එය මිනිසා විසින් නිර්මාණය කරන ලද කන්දක් බවය. තවත් නිවැරදිව කිවහොත්, තෙල් සහ වායු සැකසීමේදී අතුරු ඵලයක් ලෙස ඉවත් කරන ලද ගෙන්දගම් හෙවත් සල්ෆර් ටොන් මිලියන ගණනාවකින් ගොඩනැඟුණු කෘත්‍රිම කඳුවැටියකි. මෙය තෙංගීස්හි සුවිශේෂී ස්වභාවය පිළිබඳ මගේ පළමු පාඩම විය.
අදින් වසර මිලියන තුන්සියයකටත් පෙර මෙම ප්‍රදේශය නොගැඹුරු මුහුදක්ව පැවති බව භූ විද්‍යාඥයෝ පවසති. එම මුහුදේ ජීවත් වූ අසංඛ්‍යාත කුඩා ජීවීන්ගේ ශරීර කොටස්, වසර මිලියන ගණනාවක් පුරා අධික උෂ්ණත්වය සහ පීඩනය යටතේ පරිවර්තනය වී අද ලෝකය භාවිත කරන ඛනිජ තෙල් බවට පත්ව ඇත. එබැවින් අප මෝටර් රථයකට පුරවන ඉන්ධන බිඳුවක් යනු සැබවින්ම පෘථිවියේ අති ඈත අතීතයක ජීවයේ ගබඩා වූ ශක්තියකි.
තෙල් පොළොවෙන් මතුවන්නේ පෙට්‍රල් හෝ ඩීසල් වැනි භාවිතයට සූදානම් ද්‍රවයක් ලෙස නොවන බව කවුරුත් පාහේ දනිති. එමෙන්ම, පොළොවෙන් සෘජුවම ඉහළට එන්නේ ‘බොර තෙල්’ ලෙස හඳුන්වන, නැව් මඟින් අප රටට ගෙන්වන ද්‍රවයද නොවේ. අපට ලැබෙන බොර තෙල් වරක් පිරිපහදු කර, ප්‍රවාහනයට සුදුසු ලෙස සකස් කරන ලද නිෂ්පාදනයකි. පොළොවෙන් මතු වන මිශ්‍රණයේ ඇත්තේ තෙල් පමණක් නොවේ. එහි ස්වාභාවික වායුව, ජලය, ලවණ, වැලි අංශු සහ විවිධ රසායනික සංයෝග අඩංගු වේ. ඒවා අතරින් වඩාත්ම භයානක එකක් වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවයි. කුණු වූ බිත්තරයක ගඳට සමාන ගඳක් ඇති මෙම වායුව සුළු ප්‍රමාණයකින් පවා මිනිස් ජීවිතයට මාරාන්තික විය හැකිය. තෙංගීස්හි දැඩි ආරක්ෂණ නීති, ගෑස් අනතුරු ඇඟවීමේ උපකරණ, හදිසි ගලවා ගැනීමේ අභ්‍යාස සහ නිරන්තර ආරක්ෂණ පුහුණු කිරීම් පිටුපස තිබූ ප්‍රධාන හේතුව මෙයයි.
මෙම මිශ්‍රණය පොළොවෙන් මතු කරගන්නේ කෙසේද? තෙංගීස්හි ඇත්තේ ලෝකයේ ගැඹුරින්ම පිහිටි තෙල් නිධිවලින් එකකි. එය ආසන්න වශයෙන් මීටර් හාරදහසක තරම් සිතා ගත නොහැකි ගැඹුරකින් පිහිටයි. ඒ සඳහා භූගතව එතරම් ගැඹුරකට විදීම සිදු කළ යුතුය. තෙංගීස් ස්ටෙප්ස් තණබිම් පුරා විසිරී ඇති හුදකලා තෙල් ළිං දෙස බලන අයෙකුට සිතෙන්නට හැක්කේ මේවා නොගැඹුරු ළිං කියාය. එහෙත් සත්‍යය නම්, ඒ හැම හුදෙකලා ළිඳක්ම පොළොව සිදුරු කරමින්, කිලෝමීටර් හතරක් පමණ පොළෝ ගැබ මඟ ගෙවා, ඒ මහා තෙල් නිධිය වෙත ළඟා වී ඇති බවයි. මෙම තෙල් ගවේෂණය, පොළොව මතුපිටට ගැනීම මෙන්ම තෙල් ළිං නඩත්තු කිරීම යනු අතිසංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලියකි.
තෙංගීස්හි මතුපිටින් අප දකින හුදකලා ළිං ඇත්තෙන්ම පොළොව යටදී තාක්ෂණයෙන් එකිනෙක බැඳී පවතී. ‘දිශානති විදීම’ (Directional Cluster Drilling) මඟින් මතුපිට එක ළඟ පිහිටන ළිං හිස් කිලෝමීටර් 4ක් යටදී මහා ගසක මුල් මෙන් විවිධ දිශාවලට විහිදී ගොස් වර්ග කිලෝමීටර් සිය ගණනක තෙල් නිධිය ග්‍රහණය කරගනී. මෙමඟින් මතුපිට පරිසරයට වන බලපෑම අවම වන අතර, කිසියම් අනතුරක් වුවහොත් අනෙක් කොටස් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂිත සුරක්ෂිතතා පියවරයන්ද පද්ධතියට ඇතුළත් කර ඇත.
පෙර කී පරිදි තෙංගීස්හි නිපදවන ‘බොර තෙල්’ සෘජුවම වෙෙළඳපොළට යවන්නේ නැත. පළමුව එය දැවැන්ත සැකසුම් මධ්‍යස්ථාන හරහා ගමන් කරයි. එහිදී ජලය ඉවත් කරයි; වායුව වෙන් කරයි; විෂ සහිත සල්ෆර් සංයෝග ඉවත් කරයි. ඉන් පසුව පමණක් ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ බොර තෙල් නිෂ්පාදනය වේ. මා දුටු කහ පැහැති කන්ද නිර්මාණය වී තිබුණේ මෙම ක්‍රියාවලියේදී ඉවත් කරන ලද ගෙන්දගම්වලිනි. එසේ වෙන් කරගන්නා විෂ වායූන් නැවතත් අධි-පීඩන සම්පීඩක මඟින් පොළොව යටටම පොම්ප කරන්නේ, ක්ෂය වන තෙල් නිධියේ පීඩනය පවත්වා ගනිමින් තෙල් ඉහළට තල්ලු කිරීම සඳහාය.
තෙංගීස්හිදී මට වැටහුණේ තෙල් නිෂ්පාදනය යනු පොළොවෙන් තෙල් ඇදගැනීම පමණක් නොවන බවය. එය භූ විද්‍යාව, රසායන විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ආරක්ෂණ කළමනාකරණය, පරිසර කළමනාකරණය සහ ව්‍යාපෘති කළමනාකරණය එකට එකතු වූ අති සංකීර්ණ, වියදම් අධික මෙන්ම අවදානම් සහගත පද්ධතියකි. එවැනි පද්ධතියක් පැය විසිහතර පුරා, වසර පුරා, කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක විය යුතුය. තෙල් නිෂ්පාදනයේ සුළු නවතා දැමීමක් පවා දිනකට ඩොලර් මිලියන ගණනක පාඩුවක් ඇති කළ හැකිය.
මෙවැනි පරිසරයක සේවය කරන වෘත්තිකයන්ට දිගු කාලයක් එක දිගට වැඩ කිරීමට අවසර නැත. සති කිහිපයක් හෝ මාසයක් සේවය කළ පසු ඔවුන්ට සමාන කාලයක් විවේක ලැබේ. එවිට ප්‍රශ්නයක් මතු වේ; ප්‍රධාන ඉංජිනේරුවා, ඉදිකිරීම් කළමනාකරු හෝ සැලසුම් ඉංජිනේරුවා නිවාඩු ගිය විට ව්‍යාපෘතියේ ගමන නතර නොවන්නේ කෙසේද?
මීට පිළිතුර ලැබෙන්නේ ‘බැක්-ටු-බැක්’ සේවා මුර ක්‍රමය හරහාය. එහිදී එකම තනතුර සඳහා සමාන සුදුසුකම් ඇති නිලධාරීන් දෙදෙනෙකු පත් කර තිබේ. එක් අයෙකු සේවයේ යෙදී සිටින විට අනෙක් අය නිවාඩු ලබා සිටී. සේවා මාරුව සිදු වන විට සියලු තොරතුරු, තීරණ, ගැටලු සහ ඉදිරි සැලසුම් පද්ධතිමය ලෙස අනෙක් නිලධාරියා වෙත භාර දෙනු ලැබේ. මුලින්ම මෙය දුටු විට මට එය විශ්වාස කිරීමට අපහසු විය. ලෝකයේ දැවැන්තම තෙල් ව්‍යාපෘතියක, දිනපතා තීරණ සිය ගණනක් ගන්නා කළමනාකරුවෙකුගේ වගකීම් එක් දිනකින් තවත් අයෙකුට භාරදිය හැක්කේ කෙසේද?
පිළිතුර තිබුණේ පුද්ගලයා තුළ නොව, පද්ධතිය තුළය.
හැම තීරණයක්ම, හැම වෙනස්කමක්ම, හැම සන්නිවේදනයක්ම නිවැරදිව ලේඛනගත කර තිබිණි. වැඩබිමට පැමිණෙන නව කළමනාකරුට තමන් නොසිටි කාලයේ සිදු වූ සියලු දේ පැය කිහිපයක් තුළ අවබෝධ කරගත හැකි විය. පුද්ගලයා වෙනස් වුවද පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක විය. මෙය අප බොහෝ ආසියාතික රටවල දකින ‘පුද්ගල කේන්ද්‍රීය’ සංස්කෘතියට හාත්පසින්ම වෙනස් විය. අපේ රටවල බොහෝ විට ව්‍යාපෘතියක සාර්ථකත්වය එක් පුද්ගලයෙකුගේ සම්බන්ධතා, පෞද්ගලික හැකියාවන් හෝ ජනප්‍රියත්වය මත රැඳී පවතී. එම පුද්ගලයා ඉවත් වූ විට පද්ධතියම අඩපණ වේ. තෙංගීස්හිදී මා දුටුවේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එහිදී තනි පුද්ගලයාට වඩා පද්ධතිය වැදගත් විය.
පසුකාලීනව ශ්‍රී ලංකාවේදී සහ වෙනත් විදෙස් රටවල ව්‍යාපෘති කිහිපයක සේවය කරන විට, තෙංගීස්හිදී උගත් මෙම පාඩම කෙතරම් වටිනවාදැයි මට සිතිණ. නිවැරදි ලේඛනගත කිරීම, ප්‍රමිතිගත ක්‍රියා පටිපාටි සහ දැනුම හුවමාරු කිරීමේ සංස්කෘතියක් ඇති කළ විට, ව්‍යාපෘතියක් පුද්ගලයන් මත නොව පද්ධති මත ගොඩනැඟෙන බව මට නැවත නැවතත් තහවුරු විය. මෙය ව්‍යාපෘතියකට පමණක් නොව, රටක් පාලනය කිරීමට වුවද එකලෙස අදාළය.
තෙංගීස් තෙල් නිධියේ සිට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි රුසියාවට අයත් කළු මුහුද අද්දර පිහිටි නොවොරොසීස්ක් වරාය දක්වා ඉදි කළ තෙල් නළ ව්‍යාපෘතිය (CPC Pipeline) ගැන ඉදිරියේදී කතා කරමු.