බටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්නට ගිය ගමනත්, එහිදී දැනගන්නට ලැබුණු අරාල් මුහුදේ පාරිසරික ඛේදවාචකයත් ගැන පසුගිය ලිපිවලින් මම කතා කළෙමි. අද මා ලියන්න සැරසෙන්නේ, මිනිස් වාසයෙන් තොර වූ, කර්කශ මහා ස්ටෙප්ස් තණබිම් කෙළවරක ‘Tengizchevroil’ (TCO) සමාගම වෙනුවෙන් බහුජාතික දැවැන්ත ශ්‍රම බළකායක් උදෙසා ක්‍රමවත්ව නිර්මාණය කර තිබූ අපූරු ‘කඳවුරු නගරය’ සහ එහි පාලනය පිටුපස තිබූ විස්මයජනක ව්‍යාපෘති කළමනාකරණ විනය ගැනය.
ඛනිජ තෙල් ගවේෂණය, මහා පොළොවෙන් තෙල් ගැනීම, පළමු නිස්සාරණය සහ ගබඩා කිරීම වැනි එකිනෙකට වෙනස් වූ සිය ගණනක් සංකීර්ණ ක්‍රියාවලී ඉටු කිරීම උදෙසා නොයෙක් නොයෙක් අන්තර්ජාතික සමාගම් මෙහි සම්බන්ධ වී සිටි අතර, ඒ වෙනුවෙන් දස දහස් ගණනක ජනතාවක් එකම බිමක රැස් කරනු ලැබ තිබිණි. කෙසේ වුවද, තෙංගීස් යනු සාමාන්‍ය මිනිස් ජනාවාස හෝ ස්වාභාවික ගම්මාන බිහි වී තිබූ ප්‍රදේශයක් නොවේ. එය තනිකරම කෘත්‍රිමව ගොඩනැඟූ කාර්මික ජනපදයක් විය. අතිරෝ නගරයේ සිට තෙංගීස් බලා එන ගමනේදී පවා අපට හමු වූයේ එකිනෙකට කිලෝමීටර් සියයක පමණ ඈතින් පිහිටි කුඩා ජනාවාස හෝ නගර කිහිපයක් පමණි. ඒ මුළු මහත් හිස් අවකාශයම මහා පාළු ස්ටෙප්ස් බිමට සින්නක්කරේ හිමිව තිබුණේය. එවැනි හුදෙකලා බිමක, ලොව පුරා ඒ වන විට සොයාගෙන තිබූ සියලු ආකාරයේ නවීන ඉංජිනේරු ක්‍රියාවලි ඒ තෙල්වලින් පොහොසත් භූමිය මත සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබිණි.
අප සමාගමට පැවරී තිබුණේ ඛනිජ තෙල් කර්මාන්තයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ වගකීමයි. දැවැන්ත ගබඩා සංකීර්ණ, කාර්යාල, ආපණශාලා, ලේඛනාගාර ගොඩනැඟිලි, ප්‍රවේශ මාර්ග මෙන්ම කර්මාන්තශාලාවලට අවශ්‍ය උණුසුම් හා සීතල ජල රැහැන්, භූගත කේබල් පද්ධති සහ ක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංගණ ඉදි කිරීම අපේ දෛනික ඉංජිනේරු ජීවිතයේ කොටසක් විය. අප ජීවත් වූ නවාතැන් කඳවුරේ සිට අපට වැඩ කිරීමට තිබූ සැබෑ වැඩබිමට ඇති දුර පමණක් කිලෝමීටර් තිහක් පමණ විය. කර්කශ දේශගුණය මැද මේ සා විශාල කලාපයක් පාලනය වූයේ වෙනම ස්වාධීන රාජ්‍යයක් බඳු, කසාක්ස්තාන් රජය හා තෙල් සමාගම් ඒකාබද්ධ වූ දැඩි, නොබිඳිය හැකි පාලන රාමුවකිනි. ඒ කලාපය සතු ආර්ථික හා ව්‍යාපෘතිමය ස්වෛරීභාවය කොතරම්ද යත්: එහිම පරිහරණය උදෙසා වෙනම කුඩා ගුවන් තොටුපොළක් මෙන්ම විශේෂ රේගු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබිණි.
එහෙත්, ඒ සියල්ලට වඩා මා මවිතයට පත් කළේ මේ සියලු වැඩකටයුතු බාධාවකින් තොරව, ඔරලෝසු යන්ත්‍රයක් මෙන් සිදුවීම සඳහා පසුපසින් ක්‍රියාත්මක වූ දැවැන්ත සැපයුම් ජාලයයි. අපට ලැබෙන එක තෙල් බින්දුවක් පිටුපස මිනිස් හා යාන්ත්‍රික ක්‍රියාකාරකම් දහස් ගණනක් ඇති බව වැටහෙන්නේ මෙවැනි බිමකදීය.
ඛනිජ තෙල් නිධිය ආශ්‍රිතව සේවය කළ දහස් සංඛ්‍යාත මිනිසුන් වෙනුවෙන්ම වෙන් වූ නගරයක් තුළ වෙන වෙනම වැඩබිම් හා කඳවුරු සංකීර්ණ රාශියක් එහි විය. අප සමාගමට වෙන් කර තිබූ කඳවුර අක්කර දහයක පමණ විශාල භූමියක නිමවා තිබූ අතර, එතුළ අංගසම්පූර්ණ තරු පන්තියේ නවාතැන්පොළක සියලු ලක්ෂණ ගැබ්ව තිබිණි. එහි විශේෂඥ ඉංජිනේරු කාර්ය මණ්ඩලය, යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ සාමාන්‍ය සේවකයන් වෙනුවෙන් වෙන වෙනම අතිශය නවීන, සුවපහසු කාමර සහ සනීපාරක්ෂක පහසුකම් සලසා තිබුණේ ඉතා ක්‍රමවත් අයුරිනි. නවාතැන් සංකීර්ණයට ඇතුළු වන ඕනෑම අයකුට දැනෙන්නේ තමා ලෝකයෙන් හුදෙකලා වූ කාන්තාරයක සිටින බව නොව, සුවපහසු හෝටල් සංකීර්ණයක වෙසෙන බවකි.
මේ කඳවුරු පාලනයේ තිබූ විනය සහ නීතිගරුකභාවය අතිශයින්ම දැඩි විය. හැම සේවා දිනකම උදෑසන, වැඩබිමට යෑමට පෙර සියලු රියැදුරෝ සහ යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවෝ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනු ලැබූහ. ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කර, වෛද්‍යවරයා විසින් නිකුත් කරනු ලබන විශේෂ සහතිකය ලබාගැනීම අනිවාර්ය විය. මේ සහතිකය නැතිව කිසිදු වාහනයකට හෝ යන්ත්‍රයකට අංගණයෙන් පිටතට යෑමට අවසර නොලැබිණි.
දිනක් අපේ ප්‍රවාහන අංශයේ ප්‍රධානියෙක් මා සමඟ මෙසේ පැවසීය:
“තිලකසිරි, අර ගේට්ටුව ළඟ ඉන්න සිකියුරිටි ඔෆිසර්ස්ලා දැක්කද? ඔය සහතිකේ නැතුව ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ගේ වාහනේ ආවත් දශමයක් ඉස්සරහට ගන්න දෙන්නෙ නෑ. මෙතන තියෙන්නෙ නීතිය විතරයි, පුද්ගලයා කවුද කියන එක වැඩක් නෑ.”
එය සැබවින්ම සිස්ටම් එකක් සතු බලයයි. ගේට්ටුව අසල සිටි බලගතු ආරක්ෂක නිලධාරීහු වෛද්‍ය සහතිකය පරීක්ෂා කිරීමෙන් පසුවම පමණක් වාහන පිටතට මුදා හැරියහ.
කඳවුරේ ජීවත් වූ දහස් ගණනකගේ සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන්ද එවැනිම දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක විය. ආපණශාලාවල පිළියෙල කරන ආහාරවල ගුණාත්මකභාවය, පිරිසුදුකම මෙන්ම මුළුතැන්ගෙයි සහ සනීපාරක්ෂක පහසුකම්වල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සඳහාම විශේෂ වෛද්‍යවරයකු අනුයුක්ත කර සිටියේය. මීට අමතරව, සේවකයන්ගේ රෝගාබාධ සහ හදිසි ප්‍රතිකාර වෙනුවෙන්ම වෙන්වූ වෙනත් වෛද්‍යවරයකු සහ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද කඳවුර තුළ ක්‍රියාත්මක විය.