ඉතිහාසය යනු නිරන්තරයෙන්ම අලුත් වන පිටුවකි. ඇතැම් විට සොබාදහම විසින් වෙන් කරන ලද භූමිය, මිනිස් බුද්ධිය විසින් යළි යා කරනු ලබයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංසය අතර පිහිටි ඉංග්‍රීසි ඕඩය (English Channel) යනු මේ සනාතන දහම ලොවට කියාපාන ජීවමාන සාක්ෂියකි.
සියවස් ගණනාවක් පුරා රළු රළ පෙළින් සහ ගුප්ත මීදුමෙන් වැසුණු මේ මහා දියකඳ, යුරෝපයේ දේශපාලන හා යුද ඉතිහාසයේ නොමැකෙන සංකේතයකි. මින් වසර කිහිපයකට පෙර එක් ගිම්හාන සැඳෑවක මම ඒ මහා සාගර පවුර මැදින් ගමන් කළෙමි. ඒ, රළ සමඟ සටන් කරන නෞකාවක නැඟී නොව, මුහුදු පතුලටත් අඩි සිය ගණනක් යටින් දිවෙන, නූතන ලෝකයේ මැවිසුරු අසිරියක් බඳු ‘චැනල් ටනල්’ (Channel Tunnel) දුම්රිය උමඟ ඔස්සේය.
ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම කලෙක බරපතළ අභියෝගයක් විය. එහි ඇති රළු ස්වභාවය සහ අධික ශීතල නිසාම මෙය පිහිනා තරණය කිරීම ලොව ඕනෑම පිහිනුම් ශිල්පියකුගේ අභියෝගාත්මක සිහිනයකි . ශ්‍රී ලාංකික අපට මේ පුවත සංවේදි වන්නේ අපේ රටේ කීර්තිමත් ගිනස් වාර්තාකරුවකු වූ කුමාර් ආනන්දන් නිසාය. 1984 අගෝස්තු 6 වැනි දින ඔහු මේ රළු දියඹ තරණය කිරීමට ගොස් ජීවිතක්ෂයට පත් වූයේ මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරමිනි. එදා ඔහු පිහිනා යන්නට තැත් කළ ඒ මහා ජල කඳ යටින්, අද අපට ඉතා ආරක්ෂිතව, උණුසුම් කෝපි කෝප්පයක රස බලමින් මිනිත්තු කිහිපයකින් එතෙර විය හැකි බව සිතන විටත් දැනෙන්නේ විස්මයකි.
ඉංග්‍රීසි ඕඩය හෙවත් එංගලන්තය හා ප්‍රංසය අතර පටු මුහුදු තීරය යටින් උමඟක් තැනීමේ අදහස අද ඊයේ පැනනැඟුණක් නොවේ. 1802 වසරේදී ප්‍රංස ඉංජිනේරුවකු වූ ඇල්බට් මැතිව් අශ්ව කරත්ත ගමන් කළ හැකි උමඟක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් බ්‍රිතාන්‍ය වැසියෝ එදා ඊට බිය වූහ. ඔවුන් සිතුවේ උමඟක් තැනුව හොත් ප්‍රංස හමුදාවන්ට ඉතා පහසුවෙන් තම දූපත ආක්‍රමණය කළ හැකි වනු ඇති බවයි.
ඉන් වසර 180කට පසු, තාක්ෂණයේ දියුණුවත් සමඟ දේශපාලනික බාධක දිය වී ගියේය. 1986 දී බ්‍රිතාන්‍යය සහ ප්‍රංසය සුවිශේෂ ගිවිසුමකට අත්සන් තැබූ අතර, 1987 අවසානයේදී වැඩ ආරම්භ විය. පවුම් බිලියන ගණනක් වැය වූ මේ ව්‍යාපෘතිය එවකට පෞද්ගලික අංශය විසින් අරමුදල් සපයන ලද ලොව විශාලතම ඉංජිනේරු ව්‍යාපෘතිය විය. එහි පළමු අදියර විවෘත වූයේ 1994 මැයි මාසයේදීය. එය විවෘත කරමින් කරමින් දෙවැනි එලිසබෙත් මහ රැජන ප්‍රකාශ කළේ මේ ලොව ශ්‍රේෂ්ඨතම තාක්ෂණ ජයග්‍රහණයක් බවයි. ඒ වසරේම අමෙරිකානු සිවිල් ඉංජිනේරු සංගමය එය නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස තෝරා ගත්තේය.
‘චැනල් ටනල්’ යනු හුදෙක් එක් උමඟක් නොවේ. එය සමාන්තරව දිවෙන උමං තුනක පද්ධතියකි. ප්‍රධාන දුම්රිය උමං දෙක මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙන් කර ඇති අතර, ඒ දෙක මැදින් ඇති කුඩා ‘සේවා උමඟ’ හදිසි අවස්ථාවල මුදාගැනීම් සහ නඩත්තු කටයුතු සඳහා භාවිත වේ.
මේ ව්‍යාපෘතියේ අසීරුම කොටස වූයේ මුහුදු පතුල යටින් උමඟ හාරාගෙන යෑමයි. මේ සඳහා ප්‍රංසය හා එංගලන්තය යන රටවල් දෙපසින්ම යෝධ TBM (Tunnel Boring Machines) හෙවත් උමං කැණීමේ යන්ත්‍ර යොදා ගැනිණි. ඉංජිනේරුවන් මුහුදු පතුලේ ඇති මැටි මිශ්‍ර හුනුගල් තට්ටුව හා නොයෙක් වෙනස් වර්ගවල පාෂාණ ස්තර විදගෙන කිලෝමීටර් පනහකට වැඩි සමාන්තර උමං තුන විදීමට මේ ආකාරයේ යන්ත්‍ර එකොළහක් යොදා ගත් බව සඳහන් වේ. මේ එක යන්ත්‍රයක් සාමාන්‍යයෙන් මීටර් විසිපහක පමණ විෂ්කම්භයකින් යුතු, මීටර් දෙසීයක් පමණ දිගු, සම්පූර්ණ කර්මාන්ත ශාලාවක් හා සමානය. මේ පිළිබඳ ඉදිරි ලිපියකින් සවිස්තරව ලියන්නට බලාපොරොත්තු වෙමි.
1990 දෙසැම්බර් 1 වැනිදා, සේවා උමඟ දෙපසින්ම කැණීම් කරමින් පැමිණි කණ්ඩායම් මුහුදු පතුල යටදී එකිනෙකා මුණගැසිණි. එම ඉතිහාසගත මොහොතේ ලෝක භූ දේශපාලනය හා ආර්ථිකය වෙනස් මඟකට හැරවුණේය. මෙහි ඇති තවත් අපූරු කරුණක් නම්: මේ දැවැන්ත යන්ත්‍ර ආපසු හරවාගෙන ඒම ප්‍රායෝගික නොවූ නිසා, ඇතැම් විදුම් යන්ත්‍ර කොටස් මුහුදු පතුලේ උමඟ තුළම වළ දමා අත්හැර දැමීමට ඉංජිනේරුවන්ට සිදු වීමයි.
ඕනෑම මහා පරිමාණ නිර්මාණයක මෙන්ම, මෙහිද අභියෝග තිබිණි. 1996 සහ 2008 වසරවල භාණ්ඩ ප්‍රවාහන දුම්රියවල ඇති වූ ගිනි ගැනීම් නිසා උමඟට දැඩි හානි සිදු විය. එහෙත් මෙහි ඇති වැදගත්ම ජයග්‍රහණය නම්, එතරම් බරපතළ අනතුරු සිදු වුවද, කිසිදු මගී ජීවිතයක් අහිමි නොවීමයි. සෑම මීටර් 375කට වරක් ප්‍රධාන උමං දෙක සේවා උමඟ සමඟ යා කර ඇති අතර, අනතුරකදී මගීන්ට ඉතා ඉක්මනින් ආරක්ෂිත මැද උමඟට පිවිසිය හැකිය. සෑම අනතුරකින්ම පසු උමඟේ වාතාශ්‍රය පද්ධතිය සහ ගිනි හඳුනාගැනීමේ පද්ධති වඩාත් නවීන ලෙස වැඩිදියුණු කෙරිණි.
මම 2015 ගිම්හාන නිවාඩුවේදී ලන්ඩනයේ ‘සෙන්ට් පැන්ක්රාස්’ දුම්රිය ස්ථානයෙන් ප්‍රංසයේ පැරිස් නුවර බලා යෑමට ‘යූරෝස්ටාර්’ දුම්රියට ගොඩ වූයේ මහත් නොයිවසිල්ලකිනි. නිරිතදිග එංගලන්තයේ ෆොක්ස්ටෝන් නගරාසන්නයෙන් උමඟට ඇතුළු වන විට කවුළුවෙන් පිටත අඳුරු විය. අප මේ ගමන් කරමින් සිටින්නේ ආසන්න වසයෙන් කිලෝමීටර් පනහක් දිග එම දිගෙන් කිලෝමීටර් තිස් අටක් මුහුදු දිය යටින් යන දුම්රිය උමඟකින් බවත්, එහි ගැඹුරුම තැන මුහුදු මට්ටමේ සිට මීටර් හැත්තෑ පහක් පමණ වන බවත් අපේ ඇසට නොපෙනුණේය. ඒ වෙනුවට අඩි විසිපහක් පමණ විෂ්කම්භයකින් යුත් මේ ආකාරයේ උමං දෙකක් මැද තරමක කුඩා සේවා උමඟකින්ද යුක්ත මේ මහා ඉදිකිරීම මා ඉදිරියේ මැවී පෙනුණේය. ඒ මතකය යළි මෑතකදී ඇවිස්සුණේ ‘චැනල් ටනල්’ ඉදිකිරීම් සමයේ එය සියැසින් දුටු වැඩිහිටි ඉංජිනේරුවකුගේ අත්දැකීම් අසා සිටිද්දීය. අනෙක් අතට ‘චැනල් ටනල්’ ඉදි කිරීමේදී අත් කර ගත් දැනුම යම් ආකාරයකින් අද මා සම්බන්ධ වී ඇති කාර්යයේ නිර්ණායක හා ආරක්ෂක ප්රමිතීන් සකස් කිරීමේදී යොදා ගන්නට ඇත.
අද වන විට ‘චැනල් ටනල්’ ඔස්සේ වසරකට මිලියන ගණනක මගීහු සංඛ්‍යාවක් ගමන් කරති. බ්‍රිතාන්‍යය සහ යුරෝපය අතර වෙළෙඳාමෙන් සැලකිය යුතු කොටසක් සිදු වන්නේ මේ කි.මී. 50ක උමඟ ඔස්සේය. විශේෂයෙන්ම ගුවන්යානයකට සාපේක්ෂව යූරෝස්ටාර් දුම්රියක ගමන් කිරීමේදී පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය බෙහෙවින් අඩු වීම පරිසර හිතකාමි සංචාරකයන්ට මහත් අස්වැසිල්ලකි.
වසර 32කට පෙර විවෘත වූ මේ ‘ලෝක පුදුමය’ අදටත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්රාතිහාර්යයකි. දැනට කිලෝමීටර් කිහිපයක උමං මාර්ග සහිත ‘චැනල් ටනල්’ වලදී මෙන්ම දැවැන්ත ‘ටීබීඑම්’ (TBM) යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නා අධිවේගි දුම්රිය ව්‍යාපෘතියක වැඩ කරන ඉංජිනේරුවකු ලෙස, මේ ගොඩබිම් උමං සැලසුම් කිරීමේදී පවා මතු වන අසීමිත සංකීර්ණතා දකින විට, ඉංග්‍රීසි ඕඩය යටින් මීට දශක කිහිපයකට පෙර කළ ඒ මහා වික්‍රමය කොතරම් අරුමැසි දෙයක්දැයි මට හොඳින්ම වැටහේ.
අනෙක් අතට මට මහා සොම්නසක්ද දැනේ. මේ අප ඉදි කරමින් සිටින දුම්රිය මඟ කවරදා හෝ ඉංග්‍රීසි ඕඩය හරහා යන උමඟින් එංගලන්තයට යන අන්තර් මහාද්වීපික මඟේම කොටසක් වන බව දන්නා නිසාය.