මිලියන දහසයක ජනතාවක් වෙසෙන මෙට්රොපොලිටනයක සාමාන්‍ය මගී ජනයාට හා දස දහස් ගණනක් වූ සංචාරකයන්ට ගමන් පහසුව සලසන අතරවාරයේදීම, කාර්යාල වේලාවට මෙරු රැළක් සේ මතු වන මගීන් පිරිස දරන්නේ කොහොමද කියා මට මහත් ප්‍රශ්නයක් තිබුණේය. මේ සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සැලසීමට පෞද්ගලික වාහනවලට අමතරව තවත් ක්‍රම කිහිපයක්ම තිබේ. ඒවා නම්: මහජන බස් රථ, ට්‍රෑම් රථ, මෙට්‍රෝ දුම්රිය, බෝට්ටු හා මගී යාත්‍රාය. ඉස්තාන්බුල් නුවර එමිනොනු, කදිකොයි, කබාටාස් ඇතුළු වෙරළාසන්න උපනගර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. ඒ, ඉහත කී සියලු ආකාරයේ ප්‍රවාහන ක්‍රම ඇවිද යන දුරින් තෝරාගන්නට මේ නගරවාසීන්ට හැකියාව ඇති නිසාය.
මේ සියලු ප්‍රවාහන ක්‍රම අතුරින් මගේ හිතට වැඩියෙන්ම ඇල්ලූ ප්‍රවාහන ක්‍රමය ඉස්තාන්බුල් මෙට්‍රෝ බස් සේවාවයි. ආසියානු කලාපයේ ශුලේජෙස්මේ උපනගරයේ සිට ඉස්තාන්බුල් යුරෝපීය කොටසේ බේලික්ඩුසු උපනගරය දක්වා දිවෙන කිලෝමීටර් පනස් දෙකක මෙට්‍රෝ බස් සේවාවෙන් කිහිප වරක්ම මා එහා මෙහා ගියේ එම සේවාව ක්‍රියාත්මක වන ආකාරය ගැන ඇති වූ කුතූහලය නිසාය. මහා ජනාකීර්ණ නගරයක් මැදින් මංතීරු දෙකේ බස් පාරක තමාටම වෙන් වූ ඉඩක් අත් කරගන්නට හැකි වීම මේ බස් සේවාව පිටුපස තිබෙන රහසයි. අපට ‘ලෙවල් ක්‍රොසින්’ නැති කෝච්චි පාරක්වත් නැති කොට තමාටම වෙන් වූ මාර්ගයක් මහා නගරයක් මැදින් හිමි වූ බස් සේවාවක් මිලියනයකට ආසන්න ජනතාවක් කාර්යාල දිනවලදී එහා මෙහා ගෙන යන්නේ ඉතා පහසුවෙනි. මේ විශේෂ බස් රථ ‘ලෝ ෆ්ලෝ’ බස් රථ දෙකක් නම්‍යශීලි මූට්ටුවක් මඟින් එකතු කොට, පෙට්ටි දෙකේ බස් ට්‍රෑම් රියක් ලෙස ක්‍රියා කරයි. වැඩිපුර මඟීන් පිරිසකට සිටගෙන යන්නට හැකි පරිදි සකසා ඇති මේවායින් දිනකට එහා මෙහා ගෙන යන මගීන් පිරිස කොළඹ නගරයේ දිනකට සියලු ආකාරයේ පොදු ප්‍රවාහන මාර්ගවල ගමන් කරන මිනිසුන් ප්‍රමාණයට ආසන්න වේ යයි සිතමි.
2006 – 2012 අතර කාලයේ අදියර කිහිපයකින් නිමා වූ ඉස්තාන්බුල් මෙට්‍රෝ බස් මාර්ගයට බස් නැවතුම්පොළවල් 44ක් ඇතුළත්ය. මේ ආකාරයේ අලුත් මාර්ගයක් පවත්නා මාර්ග පද්ධතියම උපයෝගි කරගෙන බිහි කරගැනීම සැබවින්ම නිර්මාණාත්මක කාර්යයකි. අනෙක් අතට මෙවැනි ප්‍රවාහන මාදිලියක් හඳුන්වා දීමේදී එය මොන තරම් අගේ ඇති දෙයක් වුවත් ඊට සෙනඟ අද්දවාගැනීමට ‘මාකටින්’ වැඩක්ද කරන්නට සිදු වේ. 2007දී වැඩ නිම වූ පළමු අදියරේ ආරම්භයත් සමඟ මෙට්‍රෝ බස්වල සතියක් තිස්සේ නොමිලේ යන්නට මගීන්ට ඇරියුම් කෙරිණි. ඉන් පසු වසරක් පමණ යන තුරු නියමිත ගාස්තුවෙන් අඩක් පමණක් අය කිරීම නිසා පෞද්ගලික හා වෙනත් ප්‍රවාහන ක්‍රම හැරදමා මගීන් තමන් වෙත අද්දවාගැනීමට මෙට්‍රෝ බස් පද්ධතිය සමත් විය.
ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ අවට, දිනෙන් දින උග්‍ර වන රථවාහන තදබදය, ඉන්ධන පිරිවැය සහ පරිසර දූෂණය වැනි නාගරික ප්‍රවාහන අභියෝග රැසකට මුහුණ දී සිටී. මේ ගැටලු විසඳීම සඳහා, රජයට අයත් නව මෙට්‍රෝ බස් සමාගමක් පිහිටුවූ බව මෑතකදී වාර්තා විය. නවීන, පහත තට්ටුව සහිත බස් රථ ඇතුළත් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අරඹන්නට ඇතැයි සිතමි. මේ උත්සාහය බස් රථ වේගවත් සංක්‍රමණ (Bus Rapid Transit – BRT) පද්ධතියක් සඳහා මූලික අඩිතාලම විය හැකි අතර, එය සාර්ථක කරගැනීම සඳහා ලෝකයේ සාර්ථක පද්ධතිවල අත්දැකීම් විමසා බැලීම වැදගත් වේ. මේ සඳහා ඉස්තාන්බුල් මෙට්‍රෝ බස් පද්ධතිය ඉතා හොඳ ආදර්ශයක් සපයන බව මගේ අත්දැකීමයි.
ලොව පුරා BRT පද්ධති අතර ඉස්තාන්බුල්හි මෙට්‍රෝ බස් විශිෂ්ටතම සාර්ථක කතාවක් බව මහජන ප්‍රවාහනය ගැන උනන්දුවක් දක්වන කවුරුත් පාහේ දනිති. මේ පද්ධතිය ඉස්තාන්බුල් වැනි වාහන තදබදය ඉහවහා යන ජනාකීර්ණ නගරයක පවා මෙතරම් සාර්ථක වීමට හේතු වී ඇත්තේ එහිදී අනුගමනය කරන ලද මූලික උපක්‍රම කිහිපයක් හේතුවෙනි.
මෙට්‍රෝ බස් සඳහා සම්පූර්ණයෙන්ම වෙන් වූ මාර්ග තිබීම පළමු රහසයි. මෙට්‍රෝ බස් රථ පොදු රථවාහන තදබදයට හසු නොවී ගමන් කිරීම සඳහා, මාර්ගයේ කොටසක් හිමි කරගෙන සම්පූර්ණයෙන්ම වෙන් කරන ලද මාර්ග භාවිත කිරීම නිසා වේගවත් බව සහ මගී විශ්වාසය දිනාගෙන ඇත. වාර්තාවලට අනුව, වෙන් කළ මංතීරු භාවිතය නිසා සාමාන්‍යයෙන් සිදු වන බස් රථ අනතුරු සංඛ්‍යාවද විශාල වශයෙන් අඩු වෙයි.
වැඩි මගීන් ගණනකට ඉඩ තිබීම සහ වැඩි වාර ගණනක් දිවීම දෙවැනි රහසයි. ඉස්තාන්බුල් මෙට්‍රෝ බස් රථ මගීන් දෙසීයක් දක්වා පැටවිය හැකි ධාරිතාවකින් යුක්ත වන අතර, ඒවා කෙටි කාල පරතරයන් යටතේ නිතර ධාවනය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, උදෑසන ජනාකීර්ණ වේලාවන්හිදී පවා බස් රථවල මගියකුට ඉඩක් ලබා ගැනීමේ හැකියාව පවතී.
ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය සමඟ ඒකාබද්ධ වීම තුන්වැනි රහසයි. මෙට්‍රෝ බස් පද්ධතිය උමං දුම්රිය හෙවත් මෙට්‍රෝ , සාමාන්‍ය දුම්රිය හා ට්‍රෑම් ජාලයන් සමඟ මෙන්ම අනෙක් ප්‍රවාහන මර්මස්ථාන සමඟ හොඳින් සම්බන්ධ වී ඇත. මෙය මගීන්ට විවිධ ප්‍රවාහන මාධ්‍ය අතර පහසුවෙන් මාරු වීමට ඉඩ සලසයි. කොටින්ම, බොහෝ ජනාකීර්ණ මෙට්‍රෝ ස්ටේෂන් එකක් අසලම මෙට්‍රෝ බස් නැවතුමක්ද තිබේ. අප ගමන් කළ මෙට්‍රෝ බස් රථවල වෙන් කළ මාර්ගයට ප්‍රවේශ වන්නට පෙර අපේ ගමන් කාඩ් පත වන ඉස්තාන්බුල්කාට් එක ස්වයංක්‍රිය ගේට්ටුවේ යන්ත්‍රයට අතුල්ලා සැණින් මුදල් ගෙවිය හැකිය. එවිට විවර වන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු අප සිටින්නේ කිලෝමීටර් පනස් දෙකක් එහා මෙහා ගිය හැකි නිදහස් මෙට්‍රෝ බස් මාර්ගයේය. මේ මාර්ගය දිගේ යන බස් රථ ඉගිලෙන වේගයෙන් යන්නේ නැත. එහෙත් තදබදයකට හසු නොවන නිසාත්, ඇති තරම් බස් තිබෙන නිසාත්, ඒවායේ හොඳටම ඉඩ තිබෙන නිසාත් අවශ්‍ය ගමනක් කෙටි වේලාවකින් ගමන් කළ හැකිය. අප මේ ගමන් කරමින් සිටින්නේ වාහන එකපිට නැඟී ගමන් කළ යුතු තරමට තදබද වෙයි කියා සිතෙන, ලෝකයේ ජනාකීර්ණම නගරයක් මැදින් කියා මොහොතකටවත් සිතෙන්නේ නැත.
මෙට්‍රෝ බස් හා භූගත මෙට්‍රෝ දුම්රිය සේවා වැනි පොදු ප්‍රවාහන සේවා හේතුවෙන් ඉස්තාන්බුල් නගරයේ පොදු ප්‍රවාහනය අතිශය ජනප්‍රියය. ලොකු ලොකු රස්සා කරන, මා දන්නා බොහෝ දෙනකු ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන ක්‍රමයෙනි.
මේ ආකාරයෙන්ම වෙන් කළ මංතීරු සහිත මෙට්‍රෝ බස් රථ සේවා ලෝකයේ තවත් බොහෝ නගරවල සාර්ථකව නිර්මාණය කර ඇත. බ්‍රසීලයේ කුරිටිබා, කොලොම්බියාවේ බොගෝටා හා ඉන්දුනීසියාවේ ජකර්තා නගරද ඒ අතර වෙයි. ඒවා සමහරක් ශ්‍රී ලංකාව මෙන්ම වූ තුන්වැනි ලෝකයේ රටවල්ය.