මේ මාසයේ මුල මා නිවාඩුවකට ශ්‍රී ලංකාවට ගොස් සිටියදී මගේ කිට්ටුම හිතවතකු හදිසි ස්ට්‍රෝක් එකකට හෙවත් ආඝාත තත්ත්වයකට පත්ව රෝහල්ගත වීම නිසා මට කිහිප වතාවක් ජාතික රෝහලේ ආඝාත ඒකකය වෙත යන්නට සිදු විය. වාසනාවකට ඔහු මේ වන විට හෙමි හෙමින් සුවය ලබමින් සිටී. එහෙත් ඒ රෝහල් ගමන් අතරතුර මට දැකගන්නට ලැබුණේ, තනිවම හෙල්ලෙන්නට හෝ සෙලවීමට නොහැකි රෝගීන් රැකබලා ගැනීම කෙතරම් අසීරු කාර්යයක්ද යන්නයි.
එතැනදී මගේ සිත යොමු වූයේ තවත් ගැඹුරු ප්‍රශ්නයක් වෙතය. කිලෝග්‍රෑම් හැට, හැත්තෑව හෝ අසුවක් බර, ස්වාධීනව චලනය විය නොහැකි මෙවැනි රෝගීන් දස දහස් ගණනක් ගෙවල්වල තබාගෙන රැකබලා ගන්නා පවුල්වල ආදරණීයයන් විඳින දුක් කන්දරාව කොතරම් විශාල වන්නට ඇත්ද යන්නයි. බොහෝ විට එය නිහඬව විඳින වේදනාවකි. කවුරුත් කතා නොකරන, නමුත් දෛනිකව දරාගන්නා බරකි.
මෙවැනි රෝගීන් රැකබලා ගැනීමේදී මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ රෝගියා එසවීම සහ ස්ථාන මාරු කිරීම යන දෛනික කටයුතුය. ඇඳෙන් ඇඳට, ඇඳෙන් රෝද පුටුවට, නැවත නාන කාමරයට ආදී මෙම සියලු කාර්යයන් බොහෝ විට සිදු වන්නේ පවුල් සාමාජිකයන්ගේ ශාරීරික ශක්තිය මතය. කාලයත් සමඟ එය ඔවුන්ගේ කොන්ද, උරහිස් සහ මනසටද බරක් බවට පත්වේ.
අනෙක් අතට මේ රෝගීන් පමණක් නොව තවත් විශාල පිරිසක්ද සිය කාලය පවුලේ දියුණුවට හෝ ජාතික නිෂ්පාදනයට හෝ තමන්ගේ කුසලතා වැඩි දියුණු කරන්නට හෝ යොදන්නේ නැතිව වෙහෙසකර රෝගීන්ට සත්කාර කිරීම සඳහා යොදවයි. මෙය එම රෝගීන්ගේ හෝ පවුල්වල ප්‍රශ්නයක් නොව ජාතික ප්රශ්නයකි. වෙනත් දියුණු රටවල නම් ජාතික සංවර්ධන ඉලක්කවලදී මෙවැනි අංශ ගැනද අවධානය යොමු වේ.
මෙතැනදී මට තදින්ම හැඟුණේ, වෛද්‍ය විද්‍යාව පමණක් නොව ඉංජිනේරු විද්‍යාව මෙවැනි රෝගී සත්කාරයේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවය. විශේෂයෙන්ම රෝගීන් ආරක්ෂිතව එසවීමට, ගෙන යාමට සහ ස්ථාන මාරු කිරීමට භාවිත කරන උපකරණ ඉංජිනේරු නිර්මාණයක සෘජු ප්රතිඵලයකි. මේවා රෝගියාගේ ගෞරවය ආරක්ෂා කරන අතර, රැකබලා ගන්නා පුද්ගලයාගේ ජීවිතයද පහසු කරයි.
මීට වසර කිහිපයකට පෙර අංශභාග රෝගය ගැනත් එවැනි රෝගීන් රැක බලා ගැනීම ගැනත් ලියවුණු අගනා ග්රන්ථයක් ශ්‍රී ලංකාවේදී එළි දැක්විණි. එය ලියා තිබුණේ ප්‍රවීණ ලේඛිකාවක හා වරලත් භෞත චිකිත්සකවරියක වන මදාරා සරසි සිල්වාය. එහි දොරට වැඩුමේ එක් දෙසුමක් කළේ ලෝ පතළ ස්නායු විද්‍යා මහාචාර්යවරයකු වූ තිස්ස විජේරත්නය. තවත් දෙසුමක් කළේ ඉංජිනේරුවරයකු වූ මමය. එහිදී විද්‍යා සන්නිවේදකයකුගේ ඇසින් මගේ අවධානය යොමු වුණේ මෙවැනි වැදගත් තොරතුරු නිසි පරිදි ජනතාව අතරට ගෙනයන්නේ කෙසේද යන්න ගැනය. අනෙක් අතට රෝගීන් රැක බලාගැනීම හා මුළුමහත් සෞඛ්‍ය ක්ෂේත්රයට තාක්ෂණ ඉංජිනේරුවන්ගේ දායකත්වයද ඉතා වැදගත් වෙයි.
දියුණු රටවල අද වන විට රෝගීන් හැසිරවීමේ උපකරණ යනු රෝහල්වල අමතර පහසුකමක් නොව, අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් ලෙස සැලකේ. එවැනි එක වර්ගයක් වන, සිවිලිමට සවිකළ රේල් පීලි මත ධාවනය වන මෝටර් සහිත උපකරණයක් භාවිත කර රෝගියා කාමරය තුළට ආරක්ෂිතව ගෙන යා හැකිය. මෙය රෝගියාට වේදනාකාරී හදිසි චලනවලින් මිදීමටද, රැකබලා ගන්නා අයට බර ඉසිලීමෙන් වැළකීමටද උපකාරී වේ.
මෙවැනි පද්ධති රෝහල් පරිසරයට පමණක් සීමා නොවී, ගෘහස්ථ භාවිතයටද යොදා ගන්නා ආකාරය අද දියුණු රටවල දැකගත හැකිය. ඔස්ට්‍රේලියාව වැනි රටවල, නිවාස ඉදිකිරීමේදී පවා අනාගතයේදී මෙවැනි පද්ධති සවි කළ හැකි ලෙස සිවිලිම් සහ ආකෘතිය සැලසුම් කරන අවස්ථා ඇත. මෙය රෝගී සත්කාරය තාවකාලික කටයුත්තක් ලෙස නොව, දිගුකාලීන සමාජ අවශ්‍යතාවයක් ලෙස සැලකීමේ ප්රතිඵලයකි.
ඒ සමඟම ජංගම රෝගී එසවුම් උපකරණ ලෙස හැඳින්වෙන, බැටරි බලයෙන් ක්‍රියා කරන, චක්‍ර සහිත උපකරණද භාවිත වේ. ICU වාට්ටු, වයෝවෘද්ධ නිවාස සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට මේවා ඉතා ප්රයෝජනවත්ය. මේ උපකරණ මඟින් රෝගියාගේ ශරීරයට අමතර තෙහෙට්ටුවක් නොලැබෙන ලෙස, සෘජු හා මෘදු චලනයක් සපයයි.
මෙවැනි තාක්ෂණය ගැන කතා කරන විට, අපේ රටේ බොහෝ දෙනාගේ සිතට පළමුව පැමිණෙන්නේ “මේවා අපට මිල අධික නොවේද?” යන්නයි. එය යම් මට්ටමකට සත්‍ය වුවද, මෙහිදී අඩු වියදම් ඉංජිනේරු විසඳුම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි රටක, සම්පූර්ණයෙන්ම ආනයනය කරන පද්ධති වෙනුවට, දේශීය ඉංජිනේරුවන්ගේ සහ කාර්මිකයන්ගේ දායකත්වයෙන් මෙවැනි විසඳුම් නිපදවිය හැකිය.
උදාහරණයක් ලෙස, සැහැල්ලු ඇලුමිනියම් රේල් පීලි, අතින් ක්‍රියා කරන කප්පි පද්ධති සහ ආරක්ෂිත පටි යොදාගෙන කුඩා නිවෙස්වලට හෝ වාට්ටු සඳහා ගැළපෙන රෝගීන් හසුරවන්නක් නිර්මාණය කළ හැකිය. මෙවැනි නිර්මාණ නිසි ඉංජිනේරු මාර්ගෝපදේශ සහ ආරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව සිදු කළහොත්, වියදම් සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
තවත් වැදගත් අනාගතවාදී නවෝත්පාදනයක් වන්නේ 3D printing තාක්ෂණය භාවිත කර රෝගීන් හසුරවන උපාංග නිපදවීමය. මෙවැනි උපකරණ දේශීය අවශ්‍යතාවට ගැළපෙන ලෙස නිපදවිය හැකි අතර, ඒවා ගෘහීය සත්කාරය කරන පවුල් සඳහා ඉතා වැදගත් වේ. මෙය ඉංජිනේරු විද්‍යාව කුඩා මට්ටමින් ද සමාජයට දායක විය හැකි ආකාරයක් ලෙස දැක්විය හැකිය.
අද ලෝකයේ තවත් වැදගත් ප්‍රවණතාවක් වන්නේ නිදහස් සැලසුම් භාවිත කිරීමයි. රෝගීන් හැසිරවීමේ උපකරණ සඳහා පරිගණක ආශ්‍රිත සැලසුම් හා එකලස් කිරීමේ සැලසුම් සහ නඩත්තු උපදෙස් විවෘතව ලබා දීම මඟින්, දේශීය කර්මාන්තශාලා සහ කාර්මිකයන්ට තමන්ගේම විසඳුම් නිපදවීමට හැකියාව ලැබේ. මෙය නඩත්තු වියදම් අඩු කරමින්, දිගුකාලීන භාවිතයටද උපකාරී වේ.
මෙවැනි උපකරණ තිබුණද, ඒවා නිසි ලෙස භාවිත නොකළහොත් ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැත. එබැවින්, පුහුණුව සහ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. රෝගීන් රැකබලා ගන්නා පවුල් සාමාජිකයන්ට සහ සාත්තු සේවකයන්ට රෝගීන් හසුරවන උපකරණ නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීම ඉංජිනේරු විසඳුම් තරම්ම වැදගත් අංගයකි.
අවසානයේදී මෙය තාක්ෂණික කතාවක් පමණක් නොවේ. මෙය මානව ගෞරවය සහ මනුෂ්‍යත්වය පිළිබඳ කතාවකි. රෝගියකුගේ ජීවිතය සුවපත් කිරීමේදී, ඔහුටත් ඔහු රැකබලා ගන්නා අයටත් අනවශ්‍ය වේදනාවෙන් මිදීමට උපකාර වන තාක්ෂණය නිර්මාණය කිරීම ඉංජිනේරු විද්‍යාවේ මූලික වගකීමකි.
ශ්‍රී ලංකාව වැනි රටක රෝගීන් හසුරවන උපකරණ සඳහා දේශීය, අඩු වියදම්, ආරක්ෂිත විසඳුම් බිහිකිරීම මාර්ග ව්‍යාපෘතියක් හෝ දැවැන්ත පාලමක් ඉදිකිරීම තරම්ම වැදගත් සමාජ ආයෝජනයක් විය හැකිය. ඉංජිනේරු විද්‍යාව යනු හුදෙක් යන්ත්‍ර සූත්‍ර පිළිබඳ විද්‍යාවක් නොව, මිනිස් වේදනාව අඩු කරන නිහඬ සත්කාරයකි. අපට එය තවමත් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට හෝ
එමඟින් ප්‍රයෝජන ගැනීමට හැකි වී නැත.