අසනු මැවුණු විසිතුරු අහස සූරන මැඳුරු

දසක කිහිපයක් තිස්සේ ඉදි වූ අහස සිඹින ගොඩනැඟිලි පෙළ අපේ අගනුවර නාගරික පෙනුම අලංකාර හා ගම්භීර කරවයි. අප රටේ උසම ගොඩනැඟිලි ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 1960 දශකයේ ඉදි වූ ‘සෙලින්කෝ මන්දිරය’ එහි ආරම්භක සලකුණ ලෙස සැලකේ. එකල මහල් 14කින් යුක්තව ඉදි වූ එය කොළඹ අහස ජය ගත් ප්‍රථම දැවැන්තයා විය. ඉන් පසු 1970 දශකයේදී මහජන බැංකු මූලස්ථානයත්, 80 දශකය ආරම්භයේදී ඉදි වූ ඕෂන් වීව් කුලුනත් කොළඹ අහසට අලුත් හැඩ-මාන එක් කළේය. එහෙත් මෙරට නාගරික වාස්තු විද්‍යාත්මක ඉතිහාසයට කැපීපෙනෙන වෙනසක් එක් කළ පළමු සංකේතය ඉදි වූයේ 1980 දශකයේ මැද භාගයේදීය. ඒ, මහල් 32කින් යුත් ලංකා බැංකු මූලස්ථානයයි.

 

කොළඹ කොටුව දෙසින් ගාලුමුවදොර පිටියට ආසන්න වන්නට, එක මත එක ගොඩගැසූ කාසි කුලුනක් මෙන් දිස් වන, සිලින්ඩරාකාර හැඩයකින් යුත් මේ මහා මන්දිරය බොහෝ දෙනා හැඳින්වූයේ ‘පිට්ටු බම්බුව’ ලෙසිනි. මුල් කාලයේ කොන්ක්‍රීට් පැහැයෙන් යුක්තව සිටි මේ දැවැන්තයා 1990 දශකය අවසන් වන තෙක්ම මෙරට කඩවසම්ම ‘අහස් මාලිගය’ විය. ඉන් පසු ඒ අසලින්ම ලෝක වෙළඳ මධ්‍යස්ථාන නිවුන් කුලුනු ඉදි වීමත් සමඟ කොළඹ අහසේ පෙනුම අන්තර්ජාතික මට්ටමට ළඟා විය. ලංකා බැංකු පිට්ටු බම්බුවේත්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන නිවුන් ගොඩනැඟිලි දෙකේත් බාහිර බිත්ති වැඩි ප්‍රමාණයක් දිගේ බඩගා ඇති පුද්ගලයන් අතර මමද සිටිමි. එසේ බඩගෑවේ නිකම්ම නොවේ; යාන්ත්‍රික ඔංචිල්ලාවක නැඟී සේවක පිරිසක්ද සමඟ මේ ගොඩනැඟිලිවල බාහිර ආවරණ සවි කිරීමටය; වතුර කාන්දු වෙනවාද බැලීමටය; අවැසි පිළිසකර කටයුතු සටහන් කරගැනීමටය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නම් මේ කටයුත්ත කෙරුණේ දැවැන්ත ව්‍යසන දෙකකින් පසු කරන ලද පිළිසකර කිරීමක් ලෙසය. ලංකා බැංකු මූලස්ථානයේ කිරිපාට ආවරණය සවි කෙරුණේ අලුත්ම වැඩක් විදිහටය.

 

කොළඹ කොටුවේ සමහර උස ගොඩනැඟිලිවල ඉතිහාසය ලියවී ඇත්තේ හුදෙක් ගඩොළින් හා වැලිවලින් පමණක් නොවේ. ඒවා මත ලේ සහ කඳුළු තැවරී තිබූ කාලයක්ද විය. 1996 ජනවාරියේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, ලංකා බැංකු මූලස්ථානයට සහ එවකට ඉදි වෙමින් පැවති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට දැඩි බලපෑමක් එල්ල කළේය. මහ බැංකුවට ඉතා සමීපව පිහිටි ලංකා බැංකු ගොඩනැඟිල්ලේ වීදුරු ජනේල සෑහෙන ප්‍රමාණයක් සුනුවිසුනු වී ගිය අතර, ඉන් නොනැවතී 1997 වසරේ ඔක්තෝබර් මස ගලදාරි හෝටලය අසල සිදු වූ බෝම්බ ප්‍රහාරය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බාහිර පෙනුමටත්, ලංකා බැංකු ගොඩනැඟිල්ලටත් නැවත වරක් දැවැන්ත කඩතොලු එක් කළේය. මේ තත්ත්වය මත 1997 අවුරුද්දේ අවසන් වෙද්දී මෙකී ගොඩනැඟිලි තුනේම දැවැන්ත පිළිසකර වැඩ ඇරඹි තිබිණි.

එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නවක ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් සිටි මට ඉන් ඉවත් වී, ප්‍රථම වරට අන්තර්ජාතික ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණේ ඒ ව්‍යසන දෙකකින් හානියට පත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල පිළිසකර කරන්නටය. මා සම්බන්ධ වූ සමාගම ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා හවුල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූවකි. මේ දැවැන්ත නිවුන් ගොඩනැඟිල්ල සිංගප්පූරු සමාගමකට අයත් වූ අතර පිළිසකර වැඩ අතිශයින් සංකීර්ණ විය. පිටතට පෙනෙන ජනේල වීදුරු පමණක් නොව; අභ්‍යන්තරයේ පිහිටි විදුලි සෝපාන, බිත්ති, කාර්යාල හා වෙනත් අංගෝපාංගවලට ද විශාල වශයෙන් හානි වී තිබුණු නිසා ඒ සියල්ල යළි සවි කිරීමට අන්තර්ජාතික ආයතන විශාල ගණනක් එකතු කරගෙන තිබිණි.

 

කෙසේ හෝ 1998 වසර අවසන් වෙද්දී මේ නිවුන් ගොඩනැඟිල්ලේ අපේ රාජකාරිය නිම වුණු අතර, අපට ඊළඟ මෙහෙයුම ලෙස පැවරුණේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ බාහිර පෘෂ්ඨය මුළුමනින්ම කිරිපාට ඇලුමිනියම් තහඩුවලින් ආවරණය කිරීමය. කීර්තිමත් ඉංජිනේරුවරයකු වන ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්ගේ නායකත්වයෙන් සිදු කෙරුණු ඒ අපූරු ඉදි කිරීම් කටයුත්තේ සාමාජිකයකු වීම නිසා මම බොහෝ වටිනා දැනුමක් හා අත්දැකීම් ලැබුවෙමි.

 

මේ ‘ක්ලැඩිං’ පද්ධතිය සිරස් අතට එළූ ඇලුමිනියම් රීප්ප හෙවත් ‘මලියන්’ පේළියක් මත, කල් ඇතිව සැලසුම් කර නමා හැඩගැන්වූ වක්‍ර ඇලුමිනියම් තහඩුවලින් සමන්විත විය. තහඩු අතර මූට්ටුව සීල් ක‍ළේ සිලිකොන් බන්ධනයකිනි. ඇලුමිනියම් මලියන් සවි කිරීමට පළමුව ගොඩනැඟිල්ලේ කොන්ක්‍රීට් බඳ සිදුරු කර, සුදු යකඩ බෝල්ට් බස්වනු ලැබිය.

 

මේ ව්‍යාපෘතියේ තිබූ දැවැන්තම අභියෝගය වූයේ තහඩු සවි කිරීමේදී මතුපිට නිරවද්‍යතාව පවත්වාගැනීමයි. අඩි සිය ගණනක් උසට යන විට සිදු වන ඉතා කුඩා ඇල වීමක් පවා සම්පූර්ණ ගොඩනැඟිල්ලේ පෙනුම විකෘති කළ හැකිය. එකල අප රටේ ඒ විෂයය පිළිබඳ පළපුරුදු මිනුම්දෝරුවන් සිටියේ අතළොස්සකි. ඒ අතුරෙන් අයකු වූ ප්‍රැන්සිස් මහතා මේ වැඩේට එකතු කරගැනීමට මට හැකි විය. ඔහු ‘තියෝඩලයිට්ටුවට’ කිවුවේ ‘කණ්ණාඩිය’ කියාය. ඔහුගේ කණ්ණාඩියට සිරස් අතට මිනුම් කළ හැකි ‘Diagonal eye-piece’ එකක් සවි කර, සිරස් රේඛාව නූලටම තහවුරු කරගන්නා ලදි. එය හරියටම තට්ටු තිස් දෙකක් ඉහළ සිට පහළට එල්ලූ ලඹ කැටයක ආධාරයෙන් තහඩු ආධාරක සවි විය යුතු තැන් ටක්කෙටම සලකුණු කරගත්තා වැනි වැඩකි.

 

ගොඩනැඟිල්ලේ මුදුනේ සිට පහළට එල්ලෙන ‘ගොන්ඩෝලා’ වේදිකා මත සිටිමින් අපේ ශිල්පීන් මේ බෝල්ට් සවි වන තැන් සලකුණු කළේත්, පැනල සවි කළේත්, සිලිකොන් තවරා මුද්‍රා තැබුවේත් ගාලුමුවදොර පිස හමා යන මුහුදු සුළඟ සමඟ පොරබදිමිනි.

 

මෙවැනි රූස්ස ගොඩනැඟිලිවල සවි කෙරෙන ඇලුමිනියම් පැනල්ද සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඇලුමිනියම් දඬු, රෝලින් ක්‍රියාවලිය හරහා තහඩු බවට පත් කර සංකීර්ණ ක්‍රියාවලියකින් පසු ලවණ සහිත වෙරළබඩ පරිසරයට සහ වායු දූෂණයට ඔරොත්තු දෙන, වර්ණය මැකී නොයන පෙනුමක් හා මතුපිටක් ලැබෙන පරිදි නිර්මාණය කෙරේ.

 

එලෙසම උස ගොඩනැඟිලිවල වීදුරු හා ක්ලැඩිං පද්ධතිවල භාවිත වන සිලිකොන් සීලන්ට් පිටුපසද විශාල තාක්ෂණ කතන්දරයක් තිබේ. ‘එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්’ යන අරමුණින් යුතුව සිලිකොන් නිපදවනු ලබන්නේ සිලිකොන් රසායනික පියවර කිහිපයකින් නම්‍යශීලි පොලිමර් තත්ත්වයකට පරිවර්තනය කිරීමෙනි. මේ ජෙලි වැනි ද්‍රව්‍යය පාරජම්බුල කිරණ හා දැඩි කාලගුණික වෙනස්වීම්වලට අතිශය ප්‍රතිරෝධි වේ. විශේෂයෙන් උස් ගොඩනැඟිලිවල සුළං පීඩනය සහ තාප ප්‍රසාරණය දරාගැනීම සඳහා අවශ්‍ය කුඩා චලනයන් මේ තහඩු මූට්ටු අතර පිරෙන සිලිකොන් තීරය මඟින් සපයනු ලැබේ. එහි අනෙක් ප්‍රධානම රාජකාරිය වන්නේ වැසි ජලය ඇතුළු නොවන සේ ගොඩනැඟිල්ල මුද්‍රා තැබීමය.

 

ලංකා බැංකු ගොඩනැඟිල්ල ආවරණය කළ ඇලුමිනියම් තහඩු නිෂ්පාදනය කෙරුණේ ඔස්ට්‍රේලියාවේදීය. ඒවායේ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලි සහය වෙනත් ස්වාධීන උපදේශන ආයතනයක සහයෙන් ලබාගත් වග මතකය.

 

මේ සිදු වීමෙන් වසර විසිහතකට පසුවද කොටුවේ ‘පිට්ටු බම්බුව’ අදටත් ශෝභමාන කිරි පැහැයෙන් දිලෙමින් විරාජමානව සිටීම පිටුපස තිබෙන පසුබිම් කතාව එයයි.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...