අසිරිමත් QR

ලෝකය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වනවාටත් වඩා වේගයෙනි. ඊයේ දක්වා අප අතට පත් වූ මුද්‍රිත පොතක් යනු හුදෙක් අකුරු සහ රූප සහිත කඩදාසි එකතුවක් පමණි. එහෙත් අද, තාක්ෂණයේ අලුත් පියවරත් සමඟ, ඒ නිහඬ පිටුවලට පවා පාඨකයා සමඟ ‘සංවාදයක’ යෙදීමට හැකියාව ලැබී ඇත. මෙය හුදෙක් කියවීමක් නොව, අත්දැකීමකි.

 

මේ නව පරිවර්තනයට ආකර්ෂණීය උදාහරණයක් ලෙස, සිළුමිණ පුවත්පතේ ‘ඉස්තාන්බුල් දිනපොත’ නමින් සතිපතා පළ වූ ලිපි එකතුවක් වන ‘ඕන් බලන් ඉස්තාන්බුල්’ කෘතිය පෙන්වා දිය හැකිය. එය සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ සීමා මායිම් බිඳ දමමින්, ශ්‍රව්‍ය-දෘශ්‍ය සහ මුද්‍රිත අත්දැකීම් එකම රේඛාවකට ගෙන එන නවතම කියවීමේ මංපෙත් විවෘත කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පිටුවක් මත ඇති කුඩා කළු-සුදු කොටු රටාවක් හෙවත් QR කේතයක් මඟින් පාඨකයාට වීඩියෝ, ශ්‍රව්‍ය සහ අමතර අන්තර්ගත වෙත ඍජුවම පිවිසීමට හැකි වීමයි.

 

අද අප නිතර දකින QR කේතය හෙවත් Quick Response Code යනු හුදෙක් රූපමය රටාවක් පමණක් නොවේ. එය ඇත්ත වශයෙන්ම ඩිජිටල් ලෝකයකට විවෘත වන සංකේතාත්මක දොරටුවකි. මට QR කේතය සමඟ ඇති වූ පළමු විස්මිත අත්දැකීම මතකයට නැඟෙන්නේ මීට වසර කිහිපයකට පෙර විදේශගතව සිටි සමයකදීය. එදින අවන්හලකදී මෙනුපතක් ඉල්ලා සිටි විට, මට ලැබුණේ විචිත්‍ර මුද්‍රිත මෙනුපතක් නොව, කුඩා පුවරුවක් මත මුද්‍රණය කර තිබූ අමුතුම රටාවකි. මගේ ජංගම දුරකතනයේ කැමරාව එයට යොමු කළ වහාම, තිරය මත විවිධ ආහාර වර්ග, ඒවායේ ඡායාරූප සහ මිල ගණන් ඉතා පැහැදිලිව දිස් විය. එදා එය මට මවිතය දනවනසුලු නව අත්දැකීමක් වුවත්, අද වන විට එය අපගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්ව හමාරය.

 

ඉංජිනේරු දෘෂ්ටියකින් මේ කුඩා රටාව දෙස බැලූ විට පෙනී යන්නේ මෙය අතිශය සංවිධානාත්මක දත්ත පද්ධතියක් බවයි. මෙහි ඇති තාක්ෂණික රහස වන්නේ දත්ත පරිවර්තනයයි. වෙබ් අඩවියක ලිපිනයක් වැනි ඕනෑම තොරතුරක් ‘බයිනරි’ හෙවත් ‘බින්දුව සහ එකේ ඉලක්කම් රටා’ ලෙස මෙහි සංකේතීකරණය කර ඇත. තවත් විශේෂත්වයක් වන්නේ දෝෂ නිවැරදි කිරීමේ හැකියාවයි. ‘Reed–Solomon algorithm’ නම් ගණිතමය ක්‍රමය භාවිත කරමින් නිර්මාණය කර ඇති බැවින්, කේතයේ යම් කොටසක් සීරීමට ලක් වුවද හෝ නාස්ති වුවද, එහි අඩංගු දත්ත නිවැරදිව කියවීමට තාක්ෂණයට හැකියාව ඇත. කේතයේ කොන් තුනේ ඇති විශාල කොටු රටා මඟින් ඕනෑම කෝණයකින් එය කියවීමට ස්කෑනර් යන්ත්‍රයකට මඟ පෙන්වයි.

 

මේ අපූරු තාක්ෂණය 1994 වසරේදී ජපානයේ ඩෙන්සෝ වේව් (Denso Wave) ආයතනය විසින් හඳුන්වා දුන්නේ වාහන කොටස් නිරීක්ෂණය කිරීමේ පහසුව සඳහා වුවද, අද එය ලෝකයම වෙළා ගත් සම්මතයක් වී ඇත.

 

ඒ වන විටත් අලුත්ම තාක්ෂණයක් නොවුවද ශ්‍රී ලංකාවේ පොදු ජනතාව QR කේතය සමඟ වඩාත් සමීප ලෙස ගනුදෙනු කරන්නට පටන් ගත්තේ 2022 වසරේ අප මුහුණ දුන් ඉන්ධන අර්බුද සමයේදීය. එවකට හඳුන්වා දුන් ‘National Fuel Pass’ පද්ධතිය හරහා ජනතාවගේ ජංගම දුරකතන වෙත ලැබුණු ඒ කුඩා කේතය, රට පුරා වාහන මිලියන ගණනක දත්ත සහ ඉන්ධන බෙදාහැරීමේ පද්ධති එකිනෙක සම්බන්ධ කළ සුවිශේෂී ඩිජිටල් පාලමකි. එය හුදෙක් පෝලිම් පාලනය කිරීමේ ක්‍රමවේදයක් නොව, ජාතික මට්ටමේ දත්ත කළමනාකරණය සඳහා තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව අපට දුන් ප්‍රායෝගික පාඩමකි.

 

මගේ වෘත්තීය ජීවිතය තුළ, විශේෂයෙන්ම මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල නියැළෙන විට, QR කේතයේ ඇති වටිනාකම මට තදින්ම දැනේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිත කරන බර යන්ත්‍රෝපකරණ, කොන්ක්‍රීට් කොටස් හෝ සංකීර්ණ උපකරණවල ඇති තාක්ෂණික දත්ත සහ නඩත්තු වාර්තා වහාම ලබා ගැනීමට මේ කේතය උපකාරි වේ. එමෙන්ම විවිධ වෘත්තීය සහතික පත්‍රවල සත්‍යතාව තහවුරු කිරීම සඳහාද මෙය අද ප්‍රබල ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස: උසස් අධ්‍යාපන ආයතන නිකුත් කරන සහතිකවල ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් එහි සත්‍යතාව ඕනෑම අයකුට තහවුරු කර ගත හැකිය. මෙය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන්නන්ට එරෙහිව තාක්ෂණය විසින් තැබූ වැටකඩොල්ලකි.

 

බොහෝ දෙනා වැරදියට වටහා ගෙන සිටින කරුණක් නම්, QR කේතයක් තුළ අතිවිශාල දත්ත ප්‍රමාණයක් ගබඩා වී ඇති බවයි. එහෙත් සැබවින්ම එය කරන්නේ මඟ පෙන්වීමක් පමණි. එය ඔබව අන්තර්ජාලයේ ‘cloud server’ එකක ඇති නිවැරදි තොරතුරු ගබඩාවට පිවිසුවන යතුරක් ලෙස ක්‍රියා කරයි. කෙසේ වෙතත්, අවශ්‍ය නම් එක් QR කේතයක් තුළ අක්ෂර හත්දහසකට අධික ප්‍රමාණයක් ඍජුවම ගබඩා කිරීමේ හැකියාවද පවතී.

 

අද අප ජීවත් වන තාක්ෂණික ලෝකය දෙස බලන විට, මේවා නැති ලෝකයක් ගැන සිතීම පවා උගහටය. උදාහරණයක් ලෙස: ගුවන් තොටුපොළක ගමන් මලු දහස් ගණනක් නිවැරදි ගුවන්යානා වෙත යොමු කරන්නේත්, සුපිරි වෙළෙඳසලක භාණ්ඩ දහස් ගණනක මිල තත්පරයකින් ගණනය කරන්නේත් මේ හා සමාන බාර්කෝඩ් සහ QR පද්ධති මඟිනි. එදා අතින් ලියා වාර්තා තබා ගත් යුගයට සාපේක්ෂව අද ලෝකය කොතරම් වේගවත්, නිරවද්‍ය හා පහසු තැනක් වී තිබේද?

 

QR කේතය යනු හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක් නොවේ. එය මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, දත්ත විශ්ලේෂණය, සයිබර් ආරක්ෂණය සහ ගණිතය යන විවිධ ක්ෂේත්‍ර ඉතා මැනවින් එකට ගැළපුණු අපූරු සංකලනයකි. එය අපට එක් වැදගත් කරුණක් පෙන්වා දෙයි. එනම්, ලෝකය වෙනස් කිරීමට සෑම විටම විශාල යන්ත්‍ර සූත්‍ර හෝ මහා පරිමාණ නිර්මාණ අවශ්‍ය නොවන බවයි. සමහර විට කුඩා කළු-සුදු කොටු රටාවකට පවා මුළු ලෝකයේම ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැකිය. අපේ දෑතේ ඇති පොතක් හෝ පුවත්පතක් පවා ජීවමාන අත්දැකීමක් බවට පත් කිරීමට එම කුඩා රටාව සමත් වී ඇත. තාක්ෂණය යනු හුදෙක් යන්ත්‍ර සූත්‍ර නොව, අපගේ ජීවිතය පහසු කරන සහ දැනුම පුළුල් කරන නිර්මාණශීලි මාර්ගයකි.

 

අද ඔබ ‘ඉස්තාන්බුල් දිනපොත’ කියවන විට එහි ඇති QR කේතයක් ස්කෑන් කරන්නේ නම්, ඔබ ස්පර්ශ කරන්නේ ඒ පිටුපස ඇති මහා දත්ත ගබඩාවන් සහ සර්වර් පද්ධතීන් ගණනාවක ශක්තියයි.

 

අවසාන වශයෙන්, QR කේතය අපට පසක් කර දෙන්නේ එක් වැදගත් කරුණකි: ලෝකයේ ඕනෑම මහා පරිමාණ විසඳුමක් ආරම්භ වන්නේ ඉතා කුඩා, සරල අදහසකිනි. ඒ අදහස පිටුපස එතෙක් පවතී ගැටලුවක් නිරාකරණය කර ගැනීමට වෙහෙසෙන පිරිසක් සිටිති. තත්පරයකින් තොරතුරු ලෝකයකට අප රැගෙන යන මේ කුඩා ‘දොරටුව’, අනාගතයේදී අප තවත් කොතරම් දුරකට රැගෙන යනු ඇත්දැයි සිතීම පවා අසිරිමත්ය.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...