මේ දිනවල ලෝකයේ බොහෝ රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේදීත් කතාබහ කරන දෙයක් වන්නේ ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකියාවයි. අපට තව තවත් ගබඩා පහසුකම් අවශ්‍ය බව කියවේ. දෙවැනි ලෝක යුද්ධයටත් පෙර ත්‍රිකුණාමලයේ ඉදි වූ තෙල් ටැංකි අනූ ගණන ගැනද කතාබහ මතු වෙයි. මේ උණුසුම මැද මට හිතුණේ යෝධ තෙල් ටැංකි ඉදි කිරීමේ පසුබිම ගැන කතා කරන්නය.
ලෝකය දුවන්නේ තෙල් මතය. එහෙත් ඒ තෙල් ආරක්ෂිතව රඳවා තැබිය හැකි වානේ ටැංකියක් නිර්මාණය කිරීම පිටුපස ඇති ඉංජිනේරුමය කතාව බොහෝ දෙනකුට රහසකි. අදින් වසර තිහකට පමණ පෙර, 1996 හා 1997 වසරවලදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) පෑලියගොඩ මධ්‍යම වැඩපොළේ තෙල් ටැංකි අලුතින් ඉදි කිරීමේ හා පිළිසකර කිරීමේ කටයුතු සිදු විය.
එකල පෑලියගොඩ මධ්‍යම වැඩපොළ වෙත සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සහ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අවශ්‍ය ටැංකි කිහිපයක් ඉදි කිරීමේ හා පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබිණි. එකල නවක ඉංජිනේරුවකු වශයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කළ මට ව්‍යාපෘතිය පිළිබඳ හරියටම මතක නැතත්, අප එදා නිර්මාණය කළේ හා පිළිසකර කළේ ලීටර් 40,000ක පමණ ධාරිතාවකින් යුත්, ශක්තිමත් ආරක්ෂිත වැටවල් සහිත ටැංකි සමූහයක් බව උපකල්පනය කරමින් මේ ලිපිය ලියමි. ත්‍රිකුණාමලයේ චීන වරාය පරිශ්‍රයේ අප දකින ඓතිහාසික ටැංකිවල විශාලම ප්‍රමාණයේ ඒවාට සමාන පරිමාවකින් යුත් බව සිතෙන මේවා, රටේ ඉන්ධන සුරක්ෂිතතාවේ තීරණාත්මක සාධකයක් විය.
ඕනෑම තෙල් ටැංකියක ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේ ‘වානේ තහඩු’ ය. පෑලියගොඩ අපේ වැඩපොළේ මි.මී. 15ක් (සෙ.මී. 1.5) තරම් ඝනකම තහඩු පවා නැමිය හැකි විශේෂිත රෝලර් යන්ත්‍රයක් (Steel Rolling Machine) තිබිණි. සාමාන්‍යයෙන් මේ ටැංකි සඳහා යොදාගන්නා වානේ තහඩුවක් අඩි 16ක් දිග සහ අඩි 4ක් පළලින් යුක්තය. ඒවායේ ඝනකම මි.මී. 10ක් හෝ 15ක් අතර වූ බව සිතමි. ලීටර් 40,000ක තෙල් බර සහ පීඩනය වසර ගණනාවක් පුරා නොසැලී දරා ගැනීමට නම්, මෙවැනි ඝනකම් තහඩු භාවිත කරමින් ටැංකියේ බිත්ති සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. මුලින්ම තෙල් ටැංකයේ පදනම හා ආකෘතිය අවශ්‍ය ධාරිතාව අනුව සැලසුම් කළ යුතුය.
ටැංකියක් ඉදි වන්නේ අප ගඩොල් බිත්තියක් බඳින්නාක් මෙන් ඝනකම් යකඩ තහඩු එකිනෙක පෑස්සුම් කිරීමෙනි. එහෙත් මේ තහඩු නිකම්ම එකට තබා පෑස්සිය නොහැකිය. මුලින්ම කළ යුත්තේ තහඩුවේ දාර මනාව කපා සකස් කිරීම හෙවත් ‘Beveling’ කිරීමයි. ඉන් පසු ඉංජිනේරු සැලසුම්වලට අනුව, ටැංකියේ වට ප්‍රමාණයට ගැළපෙන ලෙස නිවැරදි වක්‍රතාව ලැබෙන සේ මේ තහඩු රෝලර් යන්ත්‍රය හරහා යවා නමනු ලැබේ. මෙය, පෑලියගොඩ වැඩපොළේදී අප කළ ඉතා නිවැරදි විය යුතු කාර්යයයි. හරි හැටි නොනැමුණු එක තහඩුවක් නිසා මුළු ටැංකියේම හැඩය සහ ශක්තිය බිඳ වැටිය හැකිය.
වැඩපොළේදී වානේ තහඩු සූදානම් වන අතරතුර, වැඩබිමේ තවත් මහා කාර්යයක් සිදු වේ. ටැංකියක් පිරවූ පසු එහි බර ටොන් ගණනකි. ඒ බර දරා ගැනීමට පොළොව ශක්තිමත් විය යුතුය. මුලින්ම අත්තිවාරම සඳහා විශාල ප්‍රදේශයක් කැණීම් කර, ඒ මත වැලි සහ බොරලු ස්තර අතුරා මනාව තද කරනු ලැබේ. ඉන් පසු ටැංකියේ වානේ පතුල මල කෑමෙන් වැළැක්වීම සඳහා තාර මිශ්‍ර කළ වැලි තට්ටුවක් යොදයි. අවසානයේ ටැංකියේ බර ප්‍රධාන වශයෙන් දරන කොන්ක්‍රීට් වළල්ල වටේට ඉදි කෙරේ.
බොහෝ දෙනකු අසන පැනයක් වන්නේ ‘මේ ටැංකිවල පතුලට කොන්ක්‍රීට් භාවිත නොකරන්නේ ඇයි?’ කියාය. කොන්ක්‍රීට් යනු කොපමණ සවිමත් වුවද භංගුර හෙවත් බිඳෙනසුලු ද්‍රව්‍යයකි. ටැංකියේ බර නිසා පොළොව මඳක් හෝ ගිලා බැස ගිය හොත් කොන්ක්‍රීට් පතුලක් පුපුරා යා හැකිය. එහෙත් වානේ පතුලක් නම්‍යශීලි බැවින් එවැනි අවස්ථාවකදී හානියකින් තොරව වෙනස්කම් දරාගනියි. එසේම, කොන්ක්‍රීට්වල ඇති ක්ෂුද්‍ර සිදුරු හරහා තෙල් කාන්දු වී, භූගත ජලයට එකතු වීමේ අවදානමක්ද පවතී.
පෑලියගොඩ සිට හැඩගැස්වූ වානේ තහඩු ලොරි මඟින් වැඩබිමට ප්‍රවාහනය කළ පසු තිබුණේ එකලස් කිරීමේ කාරියයි. මුලින්ම ටැංකියේ පතුල සඳහා වන තහඩු අතුරා, ඒවායේ කෙළවර එකිනෙක මත මඳක් එක මත එක පිහිටන පරිදි (Overlap) තබා පාස්සනු ලැබේ. ඊළඟට ඇත්තේ යෝධ සිලින්ඩරය හෙවත් කවචය නිර්මාණය කර ගැනීමයි. පළමු තහඩු වළල්ල අත්තිවාරම මත රඳවා සිරස් අතට පාස්සනු ලැබේ. මෙලෙස එක මත එක තහඩු වළලු කිහිපයක් පෑස්සීමෙන්, ටැංකියේ බිත්තිය ඉහළට ඉදි වේ.
මේ පෑස්සුම් කටයුතු විශේෂ පළපුරුද්දක් සහිත ශිල්පීන්ට පමණක් කළ හැකි දෙයකි. ඔවුන් හඳුන්වනු ලබන්නේ X-Ray මට්ටමේ පෑස්සුම්කරුවන් කියාය. ඒ, ඔවුන් සිදු කරන පෑස්සුමක් විශේෂ X කිරණ යන්ත්‍රයකින් පිරික්සා බලා එහි පූර්ණත්වය සහතික කර ගන්නා බැවිනි. ඉන් පසු ඇත්තේ ටැංකියේ වහල සවි කිරීමයි. බොහෝ විට මේවා කේතුකාකාර වහලවල් වේ. වහල වෙනම වානේ රාමු සැකිල්ලක් මත අතුරනු ලබන තහඩු වැස්මකින් සමන්විත වේ.
තෙල් ටැංකියක වැදගත්ම දේ කාන්දුවක් සිදු නොවීමයි. එබැවින් සෑම පෑස්සුම් දාරයක්ම ඉතා දැඩි සුපරීක්ෂාවට ලක් කෙරේ. බොහෝ විට විශේෂ පිරික්සුම් ක්‍රම මඟින් පෑස්සුම්වල සියුම් සිදුරු හෝ තිබේදැයි පරීක්ෂා කැරේ. ටැංකිය සම්පූර්ණයෙන් නිම කළ පසු, ඊට ජලය පුරවා, එහි බර දරාගැනීමේ හැකියාව සහ කාන්දු නොවන බව තහවුරු කරගනු ලැබේ. ජලය පුරවා කරනු ලබන පරීක්ෂාව අතිශය තීරණාත්මක එකකි. එහිදී යම් පෑස්සුමක් දුර්වල වුව හොත් එය වහාම හඳුනාගෙන අලුත්වැඩියා කැරේ.
අද දවසේ ඉන්ධන පෝලිම් හෝ තෙල් මිල ගැන කතා කරන අපට, ඒ පිටුපස නිහඬව සේවය කරන මේ වානේ ටැංකි ගැන මතක් වන්නේ කලාතුරකිනි. එදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රයෙන් හෝ අන් තැනෙක කවාකාරව නවන ලද ඝනකම් යකඩ තහඩු අදටත් සපුගස්කන්දේ, කොළොන්නාවේ හෝ කෙරවළපිටියේදී ලීටර් දහස් ගණනක බර දරා ගෙන රටේ බලශක්තිය රැක ගනිමින් සිටිනවා නේදැයි මට සිතේ.
තෙල් ටැංකියක ආයු කාලය තීරණය කරන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ මල කෑමෙන් එය ආරක්ෂා කර ගැනීමයි. වානේ තහඩු නිතරම වාතයේ ඇති තෙතමනයට සහ ලවණ ගතියට නිරාවරණය වන බැවින්, ඒවායේ මතුපිට ඉතා ක්‍රමවත්ව පිරිසුදු කර පින්තාරු කළ යුතුය. සාමාන්‍යයෙන් ටැංකියක පිටත බිත්ති සඳහා සුදු හෝ රිදී පැහැති පරාවර්තක සායම් යොදනු ලබන්නේ සූර්ය රශ්මිය නිසා ඇතුළත තෙල් රත් වී වාෂ්ප වීම අවම කිරීමටයි. එසේම, ටැංකියේ පතුල පස සමඟ ස්පර්ශ වන බැවින් එහි මල කෑම වැළැක්වීමට කැතෝඩික ආරක්ෂණය වැනි උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිත කැරේ. අද වන විට නවීන යන්ත්‍ර සූත්‍ර පමණක් නොව, රොබෝ උපකරණ පවා විසල් තෙල් ටැංකි ඉදි කිරීමේ කටයුතුවලට යොදා ගැනේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පෑලියගොඩ වැඩපොළේ ඒ කාර්යබහුල පරිසරයත්, වානේ තහඩුවක් රෝල් කරන විට නඟෙන ඒ ගැඹුරු හඬත් තවමත් මගේ මතකයේ රැඳී පවතී. එය අරුම පුදුම තාක්ෂණයක් නොවුණත් අපේ රටේ තිබෙන තෙල් ටැංකි පිළිසකර කිරීමටත්, අලුත් ඒවා ඉදි කිරීමටත් විදෙස් දැනුම හෝ ආධාර ලැබෙන තුරු බලා සිටිය යුතු නැති බව මගේ හැඟීමය.