පසුගිය සති අන්තයේ අපි බොස්ෆරස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි වෙරළබඩ අවන්හලක සුපුරුදු පරිදි අසුන් ගෙන සිටියෙමු. තුර්කියේ සාම්ප්‍රදායික ටියුලිප් හැඩයේ කුඩා වීදුරුවකින් දුම් දමන උණුසුම් තේ පොදක් රස විඳිමින්, සැහැල්ලු අල්ලාප සල්ලාපයක නිරත වන අතරතුර, මිතුරෙක් මගෙන් මෙසේ ඇසීය:
“එතකොට, ඊළඟ සතියෙ සිළුමිණට ලියන තෙංගිස් කතාව මොකක්ද?”
ඔහු එලෙස විමසුවේ කසාක්ස්තානයේ කැස්පියන් වෙරළබඩ පිහිටි දැවැන්ත තෙල් නිධියක් වූ තෙංගිස් සහ 2007 වසරේ එහිදී මා ලැබූ වෘත්තීය අත්දැකීම් පිළිබඳ මම සති කිහිපයක් තිස්සේ ලියන ලිපි පෙළ ගැනයි.
මම සිනා සෙමින් ඈත නිල් දියඹේ සෙමෙන් ඇදී යන දැවැන්ත තෙල් නෞකාවක් දෙසට ඇඟිල්ල දිගු කළෙමි:
“ඔය නැවේ තියෙන්නෙත් සමහර විට තෙංගිස්වලින් ආපු තෙල් වෙන්න පුළුවන්. අන්න අර ඈතින් ඇහෙන දුම්රියේ හඬත් සමහර විට තෙංගිස් තෙල් ක්ෂේත්රයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හෝ අමතර කොටස් රැගෙන යන දුම්රියක හඬක් වෙන්න පුළුවන්…”
මිතුරෝ මඳක් මවිත වී මා දෙස බලා සිටියහ.
අද, වසර විස්සකට ආසන්න කාලයකට පසු, ඉස්තාන්බුල් නගරයේ සිට බොස්ෆරස් දියවර දෙස බලා සිටින විට, එදා තෙංගිස්හි සේවය කරන කාලයේ මට නොතේරුණු බොහෝ දේ වඩාත් ගැඹුරින් තේරුම් ගත හැකිය. මන්ද යත්: තෙංගිස්හි බොරතෙල් සහ අප ඉදිරියේ දිස් වන බොස්ෆරස් නාවික මාර්ගය අතර ඍජු නමුත් නොපෙනෙන සම්බන්ධතාවක් තිබේ. එය නළ මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග සහ අන්තර්ජාතික ව්‍යාපාරික සහයෝගිතාවෙන් ගොඩනැඟුණු නූතන ලෝකයේ විශිෂ්ට යටිතල පහසුකම් ජාලයකි.
බොහෝ දෙනා සිතන්නේ තෙල් කර්මාන්තයේ ප්‍රධාන අභියෝගය වන්නේ බොරතෙල් පොළොව යටින් මතු කර ගැනීම බවයි. එහෙත් සැබෑ අභියෝගය ආරම්භ වන්නේ ඉන් පසුවය. බොරතෙල්වල සැබෑ වටිනාකම තීරණය වන්නේ ඒවා ආරක්ෂිතව, අඛණ්ඩව හා ලාභදායි ලෙස ලෝක වෙළෙඳපොළ වෙත ගෙන යා හැකිද යන්න මතය.
ඒ සඳහා නිර්මාණය කරන ලද ලොව විශාලතම ව්‍යාපෘති අතරින් එකක් වන්නේ CPC හෙවත් Caspian Pipeline Consortium නළ මාර්ගයයි.
මෙය සැබෑ අර්ථයෙන්ම අන්තර්ජාතික කොන්සෝර්ටියමකි. කසාක්ස්ථානය, රුසියාව සහ අන්තර්ජාතික බලශක්ති සමාගම් එක්ව මෙය ක්‍රියාත්මක කරයි. තෙංගිස්, කෂාගන් සහ කරචගනාක් වැනි ලෝකයේ විශාලතම තෙල් ක්ෂේත්රවලින් නිපදවන බොරතෙල්, කිලෝමීටර් 1,500ක් පමණ දිග මේ නළ මාර්ගය හරහා රුසියාවේ කළු මුහුදු වෙරළේ පිහිටි නොවොරොසිස්ක් වරාය වෙත ගෙන යනු ලැබේ.
මේ මාර්ගය කසකාස්ථානයේ කැස්පියන් පහත් බිම්වලින් ආරම්භ වී රුසියාවේ ඇස්ට්රාකාන් ප්‍රදේශය, කල්මික් ජනරජය සහ ක්රස්නොඩාර් කලාපය හරහා ගමන් කර කළු මුහුද වෙත ළඟා වේ. අද කසකස්ථානයට ලෝක වෙළෙඳපොළ විවෘත කරන ප්‍රධාන ආර්ථික දොරටුවක් වන්නේ මේ නල මාර්ගයයි.
තෙංගිස් තෙල් ව්‍යාපෘතියේ ව්‍යාපාරික ව්‍යූහය ද ඉතා සිත්ගන්නාසුලුය. Tengizchevroil නම් ඒකාබද්ධ ව්‍යාපාරයේ කොටස් Chevron, ExxonMobil, KazMunayGas සහ Lukoil අතර බෙදී ඇත. ඉන් සියයට 20ක කොටසක් කසකාස්ථානයේ රාජ්‍ය බලශක්ති සමාගම වන KazMunayGas සතුය. මේ අන්තර්ජාතික සහයෝගිතාව නොවී නම් මෙතරම් විශාල සම්පතක් සංවර්ධනය කිරීම කිසිදු රටකට පහසු නොවනු ඇත.
එහෙත් කතාවේ වඩාත් ආකර්ෂණීය කොටස ආරම්භ වන්නේ නොවොරොසිස්ක් වරායෙන් පසුවය.
නළ මාර්ගය ඔස්සේ පැමිණෙන බොරතෙල් මුහුදේ පිහිටි පද්ධති හරහා දැවැන්ත තෙල් නෞකාවලට පුරවනු ලැබේ. ඒ නෞකා කළු මුහුද හරහා ගමන් කර බොස්ෆරස් සමුද්‍ර සන්ධිය පසු කර මධ්‍යධරණී මුහුදට පිවිසෙයි.
අද මම ගාලාටා පාලම අසල හෝ උස්කුදාර් වෙරළේ සිට මේ නෞකා දෙස බලා සිටින විට, ඒවායින් සමහරක් තුළ මා සේවය කළ තෙංගිස් තෙල් ක්ෂේත්රයේ බොරතෙල් තිබිය හැකියැයි සිතේ.
ඇත්ත වශයෙන්ම, බොස්ෆරස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත් කාර්යබහුල තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකකි. දිනපතා තෙල් නෞකා, LNG නෞකා, ධාන්‍ය ප්‍රවාහන නෞකා සහ බහාලුම් නෞකා සිය ගණනක් මෙම ජල මාර්ගය පසුකර යති.
එහෙත් තෙන්ගිස් කතාව නළ මාර්ගයකින් පමණක් අවසන් නොවේ.
තෙංගිස් තෙල් ක්ෂේත්රය වෙත ලොව පුරා සිට එන උපකරණවල සැලකිය යුතු කොටසක් අද ‘Middle Corridor’ හෙවත් Trans-Caspian International Transport Route හරහා ගමන් කරයි. චීනයෙන් ආරම්භ වන දුම්රිය බහාලුම් කසාක්ස්තානය හරහා කැස්පියන් මුහුදට පැමිණේ. ඉන් පසු ඒවා නැව් මඟින් අසර්බයිජානයට ගෙන ගොස් ජෝර්ජියාව සහ තුර්කිය හරහා යුරෝපයට හෝ නැවත මධ්‍යම ආසියාව වෙත යවනු ලැබේ.
එම නිසා බොස්ෆරස් දියවරේදී ඇසෙන දුම්රිය හඬක් පවා, කලාතුරකින් හෝ තෙන්ගිස්හි තෙල් කර්මාන්තය සමඟ සම්බන්ධ විය හැකිය.
මෙවැනි දැවැන්ත නළ මාර්ගයක් ඉදි කිරීමද පහසු කාර්යයක් නොවීය. ශීත කාලයේදී -30°C පමණ දක්වා පහළ යන උෂ්ණත්වයන් සහ ග්‍රීෂ්ම කාලයේදී 40°C ඉක්මවන කාන්තාර උණුසුම අතර එය ක්‍රියාත්මක විය යුතුය. ලවණ අධික පස්, ගංගා, තණ බිම් සහ විවිධ භූ-විද්‍යාත්මක තත්ත්වයන් හරහා එය ගමන් කරයි.
අද මේ පද්ධතියේ ධාරිතාව වසරකට ටොන් මිලියන 80කට ආසන්න මට්ටමක පවතී. පොම්පාගාර, SCADA පද්ධති, පීඩන සංවේදක, ස්වයංක්‍රීය පාලන ඒකක සහ විඛාදන පාලන පද්ධති පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.
මේ කතාව මට තවත් අපූරු සමානකමක් මතක් කර දෙයි: Caspian Pipeline Consortium ද CPC ය. ශ්‍රී ලංකාවේ Ceylon Petroleum Corporation ද CPC ය. එක් CPC ආයතනයක් රටවල් දෙකක් හරහා කිලෝමීටර් 1,500කට වැඩි නළ මාර්ගයක් ක්‍රියාත්මක කරයි. අනෙක් CPC ආයතනය, කොළඹ වරාය සහ කොළොන්නාව අතර ඉන්ධන ප්‍රවාහන පද්ධති නවීකරණය සඳහා දශක ගණනාවක් පුරා විවිධ සැලසුම් හා ව්‍යාපෘති අධ්‍යයන සිදු කරමින් සිටී.
මෙහිදී අපට වැදගත් ව්‍යාපෘති කළමනාකරණ පාඩමක් ලැබේ: ව්‍යාපෘතියක දිග හෝ විශාලත්වය එහි සංකීර්ණත්වය තීරණය නොකරයි. කිලෝමීටර් 1,500ක නළ මාර්ගයකට මුහුණ දිය යුතු අභියෝග ඇත. එසේම කිලෝමීටර් කිහිපයක නළ පද්ධතියක් නවීකරණය කිරීමේදීද ඉඩම් අත්පත් කර ගැනීම්, පරිසර ගැටලු, මූල්‍යකරණය, නියාමන අවශ්‍යතා, පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂා සහ තාක්ෂණික අවදානම් වැනි අභියෝග මතු වේ.
ව්‍යාපෘති කළමනාකරණයේ සංකීර්ණත්වය සැම විටම දුර ප්‍රමාණයට ඍජුව සමානුපාතික නොවේ. එදින බොස්ෆරස් වෙරළේ සිට තෙල් නෞකා දෙස බලා සිටියදී මට හැඟුණේ, ලෝකය ඇත්තෙන්ම නළ මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ව්‍යාපෘති හා මිනිසුන් අතර සම්බන්ධතාවලින් ගොඩනැඟුණු එකම ජාලයක් බවයි. ඒ ජාලයේ එක් අග්රයක තෙංගිස් ඇත; අනෙක් අග්‍රයේ බොස්ෆරස් ඇත.
එහෙත් ඒ දෙක අතර ගලා යන්නේ බොරතෙල් පමණක් නොවේ. ඉංජිනේරු දැනුම, ආයෝජන, අන්තර්ජාතික සහයෝගිතාව, ව්‍යාපෘති කළමනාකරණය සහ මානව උත්සාහයද ඒ සමඟ ගලා යයි.