ව්‍යාපෘති කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්, මෘදුකාංග සම්බන්ධ යමක් හෝ ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය සම්බන්ධ යමක් ලෙසය. එහෙත්, එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනීමට අප නොසිතන ඉසවුවලද ව්‍යපෘති ක්‍රියාත්මක වේ. අනෙක් අතට, ජීවිතය යනුමද සංකීර්ණ ව්‍යාපෘතියකි. එහි කළමනාකරණය හුදෙක් තාක්ෂණික මෙවලම්වලින් ඔබ්බට ගිය, මානුෂීය ගනුදෙනුවකි.
ව්‍යාපෘතිවල අවසාන අරමුණ අප ජීවත් වන ලෝකයේ අගය ඉහළ නැංවීමය; එය වඩාත් ආරක්ෂිත හා සුවපහසු තැනක් කිරීමය. එබැවින්, දියේ ගිලී මිය යන පුද්ගලයන් බේරා ගැනීමට උත්සාහ දැරීම ව්‍යාපෘතියක් විය හැකිය. අවුරුදු පතා අප රටේ දියේ ගිලීම්වලින් මියයන සංඛ්‍යාව හත්-අටසීයක් වන අතර, එය රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණයට වඩා අඩු නමුත්, සර්ප දෂ්ට කිරීම් හා පිස්සු බලු රෝගය හේතුවෙන් මියයන ගණනට වඩා ඉහළය. ඒ නිසා මේ ජීවිත බේරා ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වී තිබේ.
ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනකු සති අන්තයේ හෝ නිවාඩුවකදී දිය ඇල්ලක්, වැවක් හෝ මුහුදු වෙරළක් සොයා යන්නේ සතුට සොයා ගෙනය. එහෙත්, ඒ සතුට මහා ශෝකාන්තයක් බවට පත් වීමට ගත වන්නේ තත්පර කිහිපයක් පමණි. පසුගිය අවුරුදු නිවාඩු සමයේදී අවාසනාවන්ත ලෙස, එවන් මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා විය. දියේ ගිලීම යනු ස්වාභාවික විපතක් නොව, අපේ සැලසුම්කරණයේ ඇති හිස් තැනක් බව තේරුම් ගන්නා මොහොතේදී පමණක් අපට මේ මරණ ඉලක්කම් පාලනය කළ හැකි වනු ඇත.
මේ හා සම්බන්ධ ඉතා අපූරු ආදර්ශයක් අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් වාර්තා වෙයි. බංග්ලාදේශය යනු අපට බොහෝ සෙයින් සමාන වූ, ජලය හා බැඳුණු සංස්කෘතියක් ඇති රටකි. එරට ගංගා, ඇළ සහ නිවාස අවට විවෘත ජලාශ දරුවන්ට මරු උගුල් විය. බොහෝ දරුවන් සම්බන්ධ ගිලීම් අනතුරු සිදු වන්නේ නිවෙසේ සිට මීටර විස්සකට අඩු දුරිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, බංග්ලාදේශයේ දරුවන් මියයෑමේ ප්‍රධාන හේතු තුන අතරට දියේ ගිලීම් එකතු වී තිබිණි. එහෙත් බංග්ලාදේශය මේ ගැටලුව හුදෙක් ‘අවාසනාව’ ලෙස හැඳින්වූයේ නැත. ඔවුන් එය දුටුවේ විසඳිය යුතු මහජන ගැටලුවක් වශයෙනි. ඒ සඳහා විසඳුම ඉදිරිපත් වුණේ ව්‍යාපෘතියක් හැටියටය. ව්‍යාපෘති කළමනාකරණයේදී අප මුලින්ම කරන්නේ අවදානම හඳුනා ගැනීමයි. බංග්ලාදේශය කළේද එයමය. ඔවුන් දුටුවේ මවුපියන් රැකියාවලට ගිය පසු උදෑසන සිට දහවල් දක්වා කාලයේදී කුඩා දරුවන් මේ අවදානමට වැඩිපුරම ලක් වන බවයි.
මෙහිදී ඔවුහු ‘අංචල්’ නමින් හැඳින්වූ ප්‍රජා මූලික දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක් නිර්මාණය කළහ. එය දරුවාගේ ගෙදර ආසන්නයේම, ප්‍රජා ස්වේච්ඡා සේවිකාවන් විසින් සේවය සලසනු ලබන, සරල, ගම් මට්ටමේ ළදරු රැකවරණ ඒකක වේ. දරුවකු රැක ගැනීමේ ව්‍යාපෘති පිරිවැය ලෙස සාපේක්ෂව කුඩා මුදලක් යොදවනු ලැබුවද, ප්‍රතිඵලය ඉතා යහපත් එකක් විය. ‘අංචල්’ ව්‍යාපෘතියට අදාළ කර ගනු ලැබූ දරුවකුගේ දියේ ගිලීමෙන් මියයෑමේ සාපේක්ෂ අවදානම විශාල වශයෙන් අඩු වූ බව වාර්තා වේ. මෙය මිල අධික ඉදිකිරීම් සංකීර්ණයක් නොව, ගම් මට්ටමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන සරල පද්ධතියකි.
මේ හා සම්බන්ධ ලෝකයේ තවත් හොඳම උදාහරණයක් ලෙස බංග්ලාදේශයේම ක්‍රියාත්මක ‘SwimSafe’ වැඩසටහන සඳහන් කළ හැකිය. 2000 දශකයේ මැද භාගයේදී Centre for Injury Prevention and Research Bangladesh සහ Royal National Lifeboat Institution එක්ව ආරම්භ කරනු ලැබූ මේ වැඩසටහන මඟින් වයස අවුරුදු 6 සිට 10 දක්වා දරුවන්ට ජලයේදී ජීවිතය රැකගැනීමට අවශ්‍ය මූලික කුසලතා, පද්ධතිගත පාඩම් 21ක් ඔස්සේ ඉගැන්වේ.
විද්‍යාත්මක අධ්‍යයන මඟින් පෙන්නුම් කරන්නේ මේ වැඩසටහනට සහභාගි වූ දරුවන්ගේ දියේ ගිලී මියයෑමේ අවදානම සමාන කණ්ඩායමක් සමඟ සසඳන විට ඉහළ ප්‍රතිශතයකින් අඩු වන බවයි. තවද, ඉතා අඩු වියදමකින් මේ පුහුණුව සැලසිය හැකි වීම නිසා දිළිඳු රටවල් සඳහා මෙය විශාල ජයග්‍රහණයකි.
අප රටේද පිහිනීමට නොහැකි විශාල ජන කොටසක් සිටින අතර, බොහෝ දෙනකු විසින් පිහිනීම යනු ක්‍රීඩාවක් හෝ විනෝදාංශයක් ලෙස පමණක් සලකනු ලැබේ. එහෙත් එය ඇත්ත වශයෙන්ම ජීවිතය රැක ගන්නා මූලික කුසලතාවකි. ව්‍යාපෘති කළමනාකරණ භාෂාවෙන් බැලූ විට, මෙය ‘Risk Mitigation’ හෙවත් අවදානම ක්‍රියාකාරි ලෙස අවම කිරීමේ උපායමාර්ගයකි.
ශ්‍රී ලංකාව වැනි රටක ජාතික මට්ටමේ දියේ ගිලීම් වැළැක්වීමේ වැඩසටහනක් යනු එක් අමාත්‍යාංශයකට පමණක් තනිව කළ හැකි දෙයක් නොවේ. එය බහුවිධ අංශ ඒකාබද්ධ වූ පද්ධතියක් විය යුතුය. ඕනෑම ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් නිවැරදි දත්ත අවශ්‍යය. ‘මැනිය නොහැකි දෙයක් කළමනාකරණය කළ නොහැකිය’ යන්න කළමනාකරණයේ ස්වර්ණමය රීතියයි. අවාසනාවකට අප රටේ දියේ ගිලීම් පිළිබඳ ඒකාබද්ධ දත්ත පද්ධතියක් තවමත් ක්‍රියාත්මක නොවේ. එබැවින්, පොලීසිය සතු දත්ත, රෝහල් සතු තොරතුරු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත එකම වේදිකාවකට ගෙන ඒම වහා කළ යුත්තකි. එවිට අපට අවදානම් කලාප හඳුනා ගෙන ඒවා සිතියම්ගත කිරීමට හැකි වේ.
සංචාරක කර්මාන්තය දියුණු කරන අප වැනි රටක, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද මහා පරිමාණ ව්‍යාපෘතියක කොටසක් විය යුතුය. වෙරළ තීරයන් සහ දිය ඇලි ආශ්‍රිතව ‘සේෆ් සෝන්’ හෙවත් ආරක්ෂිත කලාප නම් කිරීමෙන් අහඹු මරණ බොහෝ සෙයින් වළක්වා ගත හැකිය. එහිදී, රතු සහ කහ පැහැති කොඩි භාවිතයෙන් අනතුරුදායක බව පෙන්වා දීම සරල ක්‍රියාවක් ලෙස දිස් වුවත්, එය දියුණු රටවල අතිශය සාර්ථකව භාවිත වන අවදානම් සංඥා පද්ධතියකි. විශේෂයෙන් නිවාඩු සමයන්හිදී ස්වේච්ඡා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ සිවිල් ආරක්ෂක බළකායන් වැඩි වශයෙන් යෙදවීමෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරගත හැකිය.
අධ්‍යාපන පද්ධතියට ජල ආරක්ෂණ කුසලතා ඇතුළත් කිරීම තවත් වැදගත් පියවරකි. අපේ දරුවන්ට ඉතිහාසය හෝ විද්‍යාව ඉගැන්වීම වටිනා නමුත්, දියේ ගිලෙන මොහොතක තමන්ගේ ජීවිතය රැක ගන්නා ආකාරය නොදැන සිටීම ඉංජිනේරුමය අතින් බැලූ විට ‘සිස්ටම් ෆේලියර්’ එකකි. එය හුදු විෂය බාහිර ක්‍රියාකාරකමක් නොව, අනිවාර්ය ජීවන නිපුණතාවක් ලෙස පාසල් මට්ටමින් හඳුන්වා දිය යුත්තකි. ගම් මට්ටමින් දිය අද්දර වෙසෙන පවුල් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බංග්ලාදේශයේ ආදර්ශය අනුගමනය කරමින් ප්‍රජා මූලික රැකවරණ මධ්‍යස්ථාන ඇති කිරීමෙන් ග්‍රාමීය මට්ටමේ සිදු වන ඛේදවාචක අවම කළ හැකිය.
අවසාන වශයෙන්, අප වටහා ගත යුත්තේ දියේ ගිලීම යනු හුදු දෛවය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. එය සැලසුම් සහගතව විසඳිය හැකි තාක්ෂණික සහ කළමනාකරණ ගැටලුවකි. සෑම මරණයක්ම ඉතිරි කර යන්නේ අසම්පූර්ණ වූ ජීවිත ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘති අතරමඟ නතර නොවීමට නම්, අප සමාජයක් ලෙස ‘ජාතික අවදානම් කළමනාකරණ’ දැක්මකට අවතීර්ණ විය යුතුය. අප තවදුරටත් මරණය දෙස අහම්බයක් ලෙස බලා සිටිය යුතු නැත. නිසි පද්ධතියක්, නිසි දත්ත සහ නිසි ක්‍රියාමාර්ග සහිත ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ අපට දිය යට සැඟවී ඇති ඒ මාරක අවදානම පරාජය කළ හැකිය.
ගොඩනැඟිලි මෙන් නොව, ජීවිත නැවත ගොඩනැඟිය නොහැකි බව අප සැම විටම මතක තබා ගත යුතුය.