පීදෙන ගොඩ­නැ­ඟිලි කෙතේ ආං බලන් කොකුන් පුතේ

මම බොහෝ විට ගල්, වැලි, යකඩ සහ කොම්පි­යු­ටර් තිර අතර ජීවත් වන්නෙක්මි. ඒ අත­රම ඒ ද්‍රව්‍ය අත­රින් සිහින ගොඩ­න­ඟන මිනි­සුන් සිය ගණ­නක් සම­ඟද මගේ ජීවි­තය ගලා යයි. එහෙත් මේ සියලු දෙනා තුළ සැඟවී ඇති සෞන්ද­ර්යය සොයා යෑම­ටද මම වෙහෙ­සෙමි. ඉංජි­නේරු විද්‍යාව යනු ගණි­ත­මය සූත්‍ර සහ සට­හ­න්ව­ලට පම­ණක් සීමා වූ ක්ෂේත්‍ර­යක් නොවිය යුතු බව සිතන සහෘ­ද­යන් මට නොඅ­ඩුව මුණ­ගැසී තිබේ. එය මිනිස් ආත්මයේ නිර්මා­ණ­ශී­ලි­ත්වය සහ ගොඩ­නැ­ඟීමේ අර­මුණ එකට මුසු වූ සජීව භාෂා­වකි.

 

2014 වසරේ දෝහා කටාර් නග­ර­යේදී හට ගත් සිදු­වී­මක් මට තව­මත් පැහැ­දි­ලිව මත­කය. ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­නයේ කටාර් ශාඛාව පිහි­ටු­වීම සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි එව­කට ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­නයේ සභා­ප­ති­ව­ර­යාට මා මගේ බ්ලොග් තීරු ලිපි එක­තුව ‘තිල­ක­සිත’ පොතක් පිරි­නැ­මුවේ ඔහු ගුවන් තොටු­ප­ළේදී පිළි­ගත් පසු­වය. ඊට මස­කට පෙර එළි­දුටු ඒ පොත ගැන ඔහු ඒ වන විටත් දැන සිටි­යේය. දිගු ගම­න­කින් පසු බෙහෙ­වින් රෑ බෝ වී හෝටල් කාම­ර­යට ගිය ඔහු අපෙන් සමු ගත්තේ දැඩි වෙහෙ­ස­කිනි. එහෙත් පසුදා උදෑ­සන ඔහුගේ මුහුණේ තිබුණේ අලුත් ප්‍රබෝ­ධ­යකි.

 

“තිලක්, ඔයා දුන්න පොත යක්ෂ පොතක්. මට බිම තියන්න හිතුණෙ නෑ. ඒක ඉවර කරලා තමයි නිදා ගත්තේ,” යැයි ඔහු සිනා සෙමින් පැව­සීය.

 

ඒ සිනා­වෙන් පසු ඔහු තවත් කතා­වක් කීවේය. උදෑ­සන ජනේ­ලය විවර කළ විට ඔහු දුටු දෝහා නග­රය පුරා දිග­හැ­රුණු ටවර් ක්‍රේන් රාශිය ක්‍රෙන් වනා­න්ත­ර­යක් ලෙස ඔහු දැක තිබිණි.

 

“මේ තරම් ඉදි කිරීම් එක්වර මෙහෙම සිද්ධ වෙන්න පුළු­වන්දැ?” යි ඔහු මගෙන් විම­සන විට, මා සිනා­වෙන් යුතුව පිළි­තුරු දුන්නේ, “අර ඉස්සි ඉස්සි එන ගොඩ­නැ­ඟිලි කිට්ටු­වෙන් මතු වෙන ක්‍රේන් ටික මට නම් පෙනෙන්නේ කුඹු­රක අලුත් ගොයම් පැළ අතරෙ ඉන්න කොක්කු රංචු­වක් වගේ. ඔය තනි කකු­ලෙන් ඉන්න කොක්කු තමයි ‘ටවර් ක්‍රේන්’,” යනු­වෙනි. ‘ක්‍රේන්’ කියන වච­න­යෙන් ‘කොකා’ යන අර්ථ­යද ලැබේ.

 

ඒ හමුව හා කතා­බහ එතැන සිටි අප සියලු දෙනා සතු­ටින් සම­රන මත­ක­යකි.

 

‘ටවර් ක්‍රේන්’ හෙවත් ‘කුලුනු දොඹ­කර’ යනු ඉංජි­නේරු ලෝකයේ අපූරු නිර්මා­ණ­යකි. බොහෝ දෙනාට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙවැනි යෝධ යන්ත්‍ර අහස සිඹින ගොඩ­නැ­ඟි­ලි­වල ඉහ­ළට ඉහ­ළට නඟින්නේ කෙසේද යන්නයි. එය ඔසවා තබන වෙනත් ක්‍රේන් එකක්ද පෙනෙ­න්නට නැත. ඇත්තෙන්ම ටවර් ක්‍රේන් එකක් යම් උස­කට සාමාන්‍ය ක්‍රම­යට සවි කළ පසු, එය තමන්ම ඉහ­ළට නංවා ගන්නා යන්ත්‍ර­ණ­ය­කින් සම­න්විත බව ඔබ දැන සිටි­යාද? මෙය හයි­ඩ්‍රො­ලික් පද්ධ­ති­යක් සහ විශේෂ වානේ රාමු­වක් භාවිත කරන ස්වයං­ක්‍රිය ඉහළ නැඟීමේ ක්‍රම­යකි. දොඹ­ක­රයේ ඉහළ කොටස මඳක් ඉහ­ළට එසවූ විට, මැදින් හිඩැ­සක් සෑදේ. එවිට නව යකඩ රාමු­වක් ඒ හිඩැ­සට ඇතු­ළත් කර, සැකිල්ල තව උසට පත් කරයි. මෙලෙස කොටස් එකින් එක අමු­ණ­මින්, ගොඩ­නැ­ඟිල්ල උස යන වේග­ය­ටම සම­ගා­මිව දොඹ­ක­ර­යද අහස දෙසට ගමන් කරයි. මේ යන්ත්‍රය සරල යන්ත්‍ර­යක් නොව, ස්වයං­ව­ර්ධ­නය වන යෝධ­යකි; නවීන මහල් ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මේදී නැති­වම බැරි සහා­ය­ක­යෙකි.

 

කොකකු හෝ වෙනත් කුරු­ල්ල­කුගේ සහ මේ යන්ත්‍රය අතර සමා­න­කම හුදෙක් නමට පම­ණක් සීමා නොවේ. කුරු­ල්ලාගේ දිගු ගෙල මෙන්, දොඹ­ක­රයේ දිගු අතට අපි ‘ජිබ්’ එක යැයි කියමු. එය ටොන් ගණ­නක බරක් අහ­සට ඔස­වා­ගෙන යා හැකි ශක්ති­යක් දරයි. කුරුල්ලා තනි කකු­ලෙන් නිස­ලව සිටින අයු­රින්, දොඹ­ක­ර­යද මහ පොළොවේ දැඩි පද­න­ම­කට බැඳී සිටී. එහි ‘කොක්ක’ මඟින් ඕනෑම බරක් නිවැ­ර­දිව ග්‍රහ­ණය කර­ගත හැකිය. එබැ­වින් විවිධ භාෂා­ව­ලද මෙම එස­වුම් සැකැ­ස්මට කොක­කුගේ නමම භාවිත වීම අහ­ම්බ­යක් නොවේ. ඇත්ත වශ­යෙන්ම කිව හොත්: සිංහල පාරි­භා­ෂිත වචන නිර්මා­ණ­යේදී මෙන්න මේ පසු­බිම විප­රම් කළ යුතු දෙයකි. කොටින්ම ‘ටවර් ක්‍රේන්’ යන්නට සරි­ලන හුරු­බු­හුටි සිංහල වච­න­යක් නැත. කිසි සේත් නොගැ­ළ­පෙන ‘කුලුනු දොඹ­කර’ යන්න යෙදී­මට සිදුව තිබේ.

 

කෙසේ වෙතත්, මේ යෝධ­යාගේ ජීවය වන්නේ සම­බ­ර­තා­වයි. ඉදි­රි­යට නෙරා ඇති අතක ටොන් ගණ­නක බරක් රඳ­වා­ගෙන සිටි­යද එය පෙර­ළෙන්නේ නැත්තේ කෙසේද යන්නට පිටු­පස අපූරු විද්‍යා­ත්මක පසු­බි­මක් ඇත. මෙහිදී භෞතික විද්‍යාවේ ඝූර්ණ නිය­මය ක්‍රියා­ත්මක වේ. දොඹ­ක­රයේ ඉදි­රි­පස බරට සමාන ඝූර්ණ­යක් සැදී­මට පසු­පස කොටසේ විශාල කොන්ක්‍රීට් බරක් සවි කර ඇත. එය හරි­ය­ටම සී-සෝ පුව­රු­වක් වැනිය. බර වැඩි වන විට එය කණු­වට ආස­න්න­යට ගෙන ඒමෙන් සම­බ­ර­තාව රැක­ගනී. මේ සරල මූල­ධ­ර්මය යටතේ යෝධ යන්ත්‍ර­යක් නිහ­ඬව ක්‍රියා කරයි. මා මුලින්ම ටවර් ක්‍රේන් එකක් දුටුවේ 1990 දස­කයේ මුල කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍ය­ස්ථාන නිවුන් ගොඩ­නැ­ඟිල්ල ඉදි කර­මින් තිබෙන වැඩ­බි­මේ­දීය. එකල එහි හෝ වෙනත් ආසන්න ඉදි කිරීම් වැඩ­බි­මක ටවර් ක්‍රේන් එක­කට ගොඩ වූ සේව­ක­යකු දැක්වූ විරෝ­ධ­තා­වක් නිසා ‘ටවර් ක්‍රේන්’ යන වච­නය අපේ ජන­මා­ධ්‍ය­ව­ලින් මහ­ජ­න­තා­වගේ කතා­බ­හට එකතු විය.

 

තට්ටු­වෙන් තට්ටුව ඉදි වන ගොඩ­නැ­ඟි­ල්ලද සමඟ ඉහළ ගොස්, වැඩ අව­සන් වූ පසු දොඹ­ක­රය පහ­ළට ගන්නා ක්‍රියා­ව­ලි­යද හරිම අපූ­රුය. එය තමන් ඉහ­ළට ගිය ක්‍රම­ය­ටම ප්‍රති­වි­රු­ද්ධව පහ­ළට බැස එයි. ඇතැම් විට ගොඩ­නැ­ඟිල්ලේ වහ­ලය මත කුඩා දොඹ­ක­ර­යක් සවි කර, ඒ මඟින් විශාල දොඹ­ක­රයේ කොටස් පහ­ළට බානු ලැබේ. මේ සියල්ල නිවැ­රදි සැල­සු­මක් සහ සුර­ක්ෂිත ක්‍රියා­මාර්ග යටතේ සිදු කරනු ලබන ඉතා සූක්ෂ්ම ක්‍රියා­ව­ලි­යකි.

 

ටවර් ක්‍රේන් යනු ස්ථාව­රව රඳ­වන එස­වුම් සැකැ­ස්මක් මුත් ලොව පුරා බහු­ල­වම භාවිත වන්නේ එහා මෙහා ගෙන යා හැකි ජංගම ක්‍රේන් වර්ගයි. මේවා විවිධ මාදි­ලි­යෙන් හා විවිධ බර එස­වීමේ හැකි­යා­වෙන් තිබේ. මෙසේ ඉහ­ළට බර එස­වීමේ පද්ධ­ති­වල ඉති­හා­සය වසර 2,500කට පෙර ක්‍රි.පූ. 6 වැනි සිය­වසේ ග්‍රීක යුගය දක්වා දිව­යයි. ඉන් පසු රෝම­න්ව­රුන් මේ තාක්ෂ­ණය තව­දු­ර­ටත් දියුණු කළ අතර, ඉස්තා­න්බුල් නුවර ඇති ටොන් 90වක් බර ඔබි­ලේස්ක් කුලුන ඊජිප්ත්වේ සිට මුහුදු යාත්‍රා­ව­ලින් ගෙනැ­විත් පැරණි කොන්ස්ත­න්ති­නෝ­පල් නුවර සිටුවා ඇති අයුරු පෙර ලිපි­යක සඳ­හන් කළෙමු.

 

ස්වාභා­වික සංකල්ප, ඉති­හාස කතා හා නිර්මා­ණා­ත්මක කැප වීම් ඔස්සේ මැවි­සුරු විස්කම් බිහි වෙමින්, ලෝකය අලුත් වෙමින් තිබේ.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...