මම බොහෝ විට ගල්, වැලි, යකඩ සහ කොම්පියුටර් තිර අතර ජීවත් වන්නෙක්මි. ඒ අතරම ඒ ද්‍රව්‍ය අතරින් සිහින ගොඩනඟන මිනිසුන් සිය ගණනක් සමඟද මගේ ජීවිතය ගලා යයි. එහෙත් මේ සියලු දෙනා තුළ සැඟවී ඇති සෞන්දර්යය සොයා යෑමටද මම වෙහෙසෙමි. ඉංජිනේරු විද්‍යාව යනු ගණිතමය සූත්‍ර සහ සටහන්වලට පමණක් සීමා වූ ක්ෂේත්රයක් නොවිය යුතු බව සිතන සහෘදයන් මට නොඅඩුව මුණගැසී තිබේ. එය මිනිස් ආත්මයේ නිර්මාණශීලිත්වය සහ ගොඩනැඟීමේ අරමුණ එකට මුසු වූ සජීව භාෂාවකි.
2014 වසරේ දෝහා කටාර් නගරයේදී හට ගත් සිදුවීමක් මට තවමත් පැහැදිලිව මතකය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කටාර් ශාඛාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි එවකට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයාට මා මගේ බ්ලොග් තීරු ලිපි එකතුව ‘තිලකසිත’ පොතක් පිරිනැමුවේ ඔහු ගුවන් තොටුපළේදී පිළිගත් පසුවය. ඊට මසකට පෙර එළිදුටු ඒ පොත ගැන ඔහු ඒ වන විටත් දැන සිටියේය. දිගු ගමනකින් පසු බෙහෙවින් රෑ බෝ වී හෝටල් කාමරයට ගිය ඔහු අපෙන් සමු ගත්තේ දැඩි වෙහෙසකිනි. එහෙත් පසුදා උදෑසන ඔහුගේ මුහුණේ තිබුණේ අලුත් ප්‍රබෝධයකි.
“තිලක්, ඔයා දුන්න පොත යක්ෂ පොතක්. මට බිම තියන්න හිතුණෙ නෑ. ඒක ඉවර කරලා තමයි නිදා ගත්තේ,” යැයි ඔහු සිනා සෙමින් පැවසීය.
ඒ සිනාවෙන් පසු ඔහු තවත් කතාවක් කීවේය. උදෑසන ජනේලය විවර කළ විට ඔහු දුටු දෝහා නගරය පුරා දිගහැරුණු ටවර් ක්‍රේන් රාශිය ක්‍රෙන් වනාන්තරයක් ලෙස ඔහු දැක තිබිණි.
“මේ තරම් ඉදි කිරීම් එක්වර මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්දැ?” යි ඔහු මගෙන් විමසන විට, මා සිනාවෙන් යුතුව පිළිතුරු දුන්නේ, “අර ඉස්සි ඉස්සි එන ගොඩනැඟිලි කිට්ටුවෙන් මතු වෙන ක්‍රේන් ටික මට නම් පෙනෙන්නේ කුඹුරක අලුත් ගොයම් පැළ අතරෙ ඉන්න කොක්කු රංචුවක් වගේ. ඔය තනි කකුලෙන් ඉන්න කොක්කු තමයි ‘ටවර් ක්‍රේන්’,” යනුවෙනි. ‘ක්‍රේන්’ කියන වචනයෙන් ‘කොකා’ යන අර්ථයද ලැබේ.
ඒ හමුව හා කතාබහ එතැන සිටි අප සියලු දෙනා සතුටින් සමරන මතකයකි.
‘ටවර් ක්‍රේන්’ හෙවත් ‘කුලුනු දොඹකර’ යනු ඉංජිනේරු ලෝකයේ අපූරු නිර්මාණයකි. බොහෝ දෙනාට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙවැනි යෝධ යන්ත්‍ර අහස සිඹින ගොඩනැඟිලිවල ඉහළට ඉහළට නඟින්නේ කෙසේද යන්නයි. එය ඔසවා තබන වෙනත් ක්‍රේන් එකක්ද පෙනෙන්නට නැත. ඇත්තෙන්ම ටවර් ක්‍රේන් එකක් යම් උසකට සාමාන්‍ය ක්‍රමයට සවි කළ පසු, එය තමන්ම ඉහළට නංවා ගන්නා යන්ත්‍රණයකින් සමන්විත බව ඔබ දැන සිටියාද? මෙය හයිඩ්‍රොලික් පද්ධතියක් සහ විශේෂ වානේ රාමුවක් භාවිත කරන ස්වයංක්‍රිය ඉහළ නැඟීමේ ක්රමයකි. දොඹකරයේ ඉහළ කොටස මඳක් ඉහළට එසවූ විට, මැදින් හිඩැසක් සෑදේ. එවිට නව යකඩ රාමුවක් ඒ හිඩැසට ඇතුළත් කර, සැකිල්ල තව උසට පත් කරයි. මෙලෙස කොටස් එකින් එක අමුණමින්, ගොඩනැඟිල්ල උස යන වේගයටම සමගාමිව දොඹකරයද අහස දෙසට ගමන් කරයි. මේ යන්ත්‍රය සරල යන්ත්‍රයක් නොව, ස්වයංවර්ධනය වන යෝධයකි; නවීන මහල් ගොඩනැඟිලි ඉදි කිරීමේදී නැතිවම බැරි සහායකයෙකි.
කොකකු හෝ වෙනත් කුරුල්ලකුගේ සහ මේ යන්ත්‍රය අතර සමානකම හුදෙක් නමට පමණක් සීමා නොවේ. කුරුල්ලාගේ දිගු ගෙල මෙන්, දොඹකරයේ දිගු අතට අපි ‘ජිබ්’ එක යැයි කියමු. එය ටොන් ගණනක බරක් අහසට ඔසවාගෙන යා හැකි ශක්තියක් දරයි. කුරුල්ලා තනි කකුලෙන් නිසලව සිටින අයුරින්, දොඹකරයද මහ පොළොවේ දැඩි පදනමකට බැඳී සිටී. එහි ‘කොක්ක’ මඟින් ඕනෑම බරක් නිවැරදිව ග්‍රහණය කරගත හැකිය. එබැවින් විවිධ භාෂාවලද මෙම එසවුම් සැකැස්මට කොකකුගේ නමම භාවිත වීම අහම්බයක් නොවේ. ඇත්ත වශයෙන්ම කිව හොත්: සිංහල පාරිභාෂිත වචන නිර්මාණයේදී මෙන්න මේ පසුබිම විපරම් කළ යුතු දෙයකි. කොටින්ම ‘ටවර් ක්‍රේන්’ යන්නට සරිලන හුරුබුහුටි සිංහල වචනයක් නැත. කිසි සේත් නොගැළපෙන ‘කුලුනු දොඹකර’ යන්න යෙදීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මේ යෝධයාගේ ජීවය වන්නේ සමබරතාවයි. ඉදිරියට නෙරා ඇති අතක ටොන් ගණනක බරක් රඳවාගෙන සිටියද එය පෙරළෙන්නේ නැත්තේ කෙසේද යන්නට පිටුපස අපූරු විද්‍යාත්මක පසුබිමක් ඇත. මෙහිදී භෞතික විද්‍යාවේ ඝූර්ණ නියමය ක්‍රියාත්මක වේ. දොඹකරයේ ඉදිරිපස බරට සමාන ඝූර්ණයක් සැදීමට පසුපස කොටසේ විශාල කොන්ක්‍රීට් බරක් සවි කර ඇත. එය හරියටම සී-සෝ පුවරුවක් වැනිය. බර වැඩි වන විට එය කණුවට ආසන්නයට ගෙන ඒමෙන් සමබරතාව රැකගනී. මේ සරල මූලධර්මය යටතේ යෝධ යන්ත්‍රයක් නිහඬව ක්‍රියා කරයි. මා මුලින්ම ටවර් ක්‍රේන් එකක් දුටුවේ 1990 දසකයේ මුල කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන නිවුන් ගොඩනැඟිල්ල ඉදි කරමින් තිබෙන වැඩබිමේදීය. එකල එහි හෝ වෙනත් ආසන්න ඉදි කිරීම් වැඩබිමක ටවර් ක්‍රේන් එකකට ගොඩ වූ සේවකයකු දැක්වූ විරෝධතාවක් නිසා ‘ටවර් ක්‍රේන්’ යන වචනය අපේ ජනමාධ්‍යවලින් මහජනතාවගේ කතාබහට එකතු විය.
තට්ටුවෙන් තට්ටුව ඉදි වන ගොඩනැඟිල්ලද සමඟ ඉහළ ගොස්, වැඩ අවසන් වූ පසු දොඹකරය පහළට ගන්නා ක්රියාවලියද හරිම අපූරුය. එය තමන් ඉහළට ගිය ක්‍රමයටම ප්රතිවිරුද්ධව පහළට බැස එයි. ඇතැම් විට ගොඩනැඟිල්ලේ වහලය මත කුඩා දොඹකරයක් සවි කර, ඒ මඟින් විශාල දොඹකරයේ කොටස් පහළට බානු ලැබේ. මේ සියල්ල නිවැරදි සැලසුමක් සහ සුරක්ෂිත ක්‍රියාමාර්ග යටතේ සිදු කරනු ලබන ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියකි.
ටවර් ක්‍රේන් යනු ස්ථාවරව රඳවන එසවුම් සැකැස්මක් මුත් ලොව පුරා බහුලවම භාවිත වන්නේ එහා මෙහා ගෙන යා හැකි ජංගම ක්‍රේන් වර්ගයි. මේවා විවිධ මාදිලියෙන් හා විවිධ බර එසවීමේ හැකියාවෙන් තිබේ. මෙසේ ඉහළට බර එසවීමේ පද්ධතිවල ඉතිහාසය වසර 2,500කට පෙර ක්‍රි.පූ. 6 වැනි සියවසේ ග්‍රීක යුගය දක්වා දිවයයි. ඉන් පසු රෝමන්වරුන් මේ තාක්ෂණය තවදුරටත් දියුණු කළ අතර, ඉස්තාන්බුල් නුවර ඇති ටොන් 90වක් බර ඔබිලේස්ක් කුලුන ඊජිප්ත්වේ සිට මුහුදු යාත්‍රාවලින් ගෙනැවිත් පැරණි කොන්ස්තන්තිනෝපල් නුවර සිටුවා ඇති අයුරු පෙර ලිපියක සඳහන් කළෙමු.
ස්වාභාවික සංකල්ප, ඉතිහාස කතා හා නිර්මාණාත්මක කැප වීම් ඔස්සේ මැවිසුරු විස්කම් බිහි වෙමින්, ලෝකය අලුත් වෙමින් තිබේ.