පත්ල පහත් බස් සැම­ටම පහ­සු­වක්

මා ජීවත් වන්නේ පොදු ප්‍රවා­හ­නය සියලු අංශ­ව­ලින් සාර්ථ­කව ක්‍රියා­ත්මක වන මහා නග­ර­ය­කය. එහි ජන­ග­හ­නය මිලි­යන දහ­ස­යකි. නග­රා­න්තර දුම්රිය, අධි­වේගි දුම්රිය, නග­රා­න්තර බස් සමඟ හොඳින් සම්බන්ධ කෙරෙන නග­රය තුළ දිවෙන මෙට්‍රෝ, ට්‍රෑම්, තම­න්ටම වෙන් වූ මංතීරු ඇති මෙට්‍රෝ බස් රථ, මහ­ජන බස් රථ, කුඩා අතුරු මාර්ග භාවිත කරන ග්‍රාමීය බස් රථ ආදි­යට අම­ත­රව හොඳින් නියා­ම­නය කරන ලද ටැක්සි රථ සේවා­වක්ද මෙහි වෙයි. මේ විසල් නග­රය හා ප්‍රවා­හන පද්ධ­ති­යට අන්ත­ර්ජා­තික අධි­වේගි දුම්රිය මඟක් එකතු කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මම හවුල් වී සිටිමි. මා දන්නා උසස් රැකියා කරන වෘත්ති­ක­යන් බහු­ත­රය ගම­නා­ග­ම­නය සඳහා තෝරා ගන්නේ මහ­ජන ප්‍රවා­හන සේව­යයි.

 

මෙවන් පසු­බි­මක කොළඹ නග­රය තුළ පත්ල පහත් (Low-floor) බස් රථ පද්ධ­තිය පරී­ක්ෂ­ණා­ත්ම­කව ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ නාග­රික ප්‍රවා­හන ක්ෂේත්‍ර­යට නව දිශා­වක් විවර කරන ප්‍රග­ති­ශීලි පිය­ව­රක් ලෙස මම අගය කරමි. මෙය සරල බස් රථ­යක් හඳුන්වා දීමක් නොව, නග­රයේ ගම­නා­ග­මන සංස්කෘ­ති­යම පරි­ව­ර්ත­නය කිරී­මට හැකි සම්පූර්ණ පද්ධ­ති­මය වෙන­සක ආර­ම්භය ලෙස අප දැකිය යුතුය. අප දන්නා පරිදි, මෙවැනි වැඩ­ස­ට­හ­නක් සාර්ථක වීමට නම් නිවැ­රදි සන්නි­වේ­ද­නය, තාක්ෂ­ණික අව­බෝ­ධය සහ දිගු­කා­ලීන සැල­සු­ම්ක­ර­ණය අත්‍ය­ව­ශ්‍යය.

 

ඉති­හා­සය අනුව පත්ල පහත් බස් සංක­ල්පය 1970-80 දශ­ක­වල යුරෝ­පයේ වර්ධ­නය වූ අතර, 1990 දශ­කය වන විට එය නගර ප්‍රවා­හ­නයේ ප්‍රමි­ති­යක් බවට පත් විය. එය ‘inclusive transport’ හෙවත් ‘සියලු දෙනාට ප්‍රවේ­ශය ඇති ප්‍රවා­හ­නය’ යන අද­හස මත පද­නම්ව වර්ධ­නය වූවකි. මෙහි මූලික අද­හස වන්නේ බස් රථය භාවිත කිරී­මට හැකි වීම සෑම පුද්ග­ල­ය­කු­ටම වයස, ශාරී­රික හැකි­යාව හෝ සමාජ තත්ත්වය කෙසේ වුවද සමාන ලෙස ලබා දීමයි.

 

තාක්ෂ­ණික වශ­යෙන්, පත්ල පහත් බස් යනු සංකීර්ණ ඉංජි­නේ­රු­මය විස­ඳු­මකි. සාමාන්‍ය පඩි නඟින බස්ව­ලදී එංජිම, ට්‍රාන්ස්මි­ෂන් පද්ධ­තිය, ඇක්ස­ලය, තෙල් ටැංකිය හා සස්පෙ­න්ෂන් පද්ධ­තිය වැනි ප්‍රධාන කොටස් බස් රථයේ තට්ටු­වට යටින් ස්ථාපිත කර ඇත. එය බස් රථයේ පඩි­පෙළ උස් කරයි. පත්ල පහත බස්ව­ලදී මේ කොටස් නවීන ලෙස හා සූක්ෂ්ම ලෙස නැවත සැල­සුම් කර ඇත. එංජිම බොහෝ විට පසු­ප­සට හෝ පැත්ත­කට ගෙන යන අතර, වායු සස්පෙ­න්ෂන් මඟින් බස් රථය පහ­ළට නමන ‘පැත්ත­කට ඇල කිරීමේ යන්ත්‍ර­ණ­යක්’ සප­යයි. මෙය මගීන්ට පහ­සු­වෙන් ගොඩ වීමට හා බැසී­මට ඉඩ සල­සයි. මේ සියල්ල එකට සම්බන්ධ වූ විට ‘පත්ල පහත්’ බස් යනු ‘උස අඩු බස් රථ­යක්’ නොව, උපාංග රැසක් නැවත සංවි­ධා­නය කර නිර්මා­ණය කළ නව ඉංජි­නේ­රු­මය පද්ධ­ති­යක් බව පැහැ­දිලි වේ.

 

අපේ රටේදී පත්ල පහත් බස් රථ­වල හඳුන්වා දීමේ ප්‍රයෝ­ජන ගැන කතා කරන බොහෝ මාධ්‍ය­වල අව­ධා­නය යොමු කර තිබුණේ විශේෂ අව­ශ්‍යතා ඇති පුද්ග­ල­යන් වෙතය. එය අති­ශ­යින් වද­ගත් පිය­ව­රක් වන අතර, දියුණු නග­ර­වල ප්‍රවා­හ­නය ඇතුළු සියලු පොදු පහ­සු­කම් විශේෂ අව­ශ්‍යතා ඇති පුද්ග­ල­යන් ගැනද සිතා, ඔවුන් මේ සමා­ජ­යේම සාමාන්‍ය ජන කොට­සක් ලෙස හැඟෙන පරිදි නිර්මා­ණය කර ඇත. ඒවා අනි­වාර්ය හා අත්‍ය­වශ්‍ය අංග ලෙස සම්මත වී තිබේ. ඒ හැර මේ නග­රය, ගොඩ­නැ­ඟිලි හෝ බස් රථ විශේෂ අව­ශ්‍යතා ඇති පුද්ග­ල­යන් සඳහා බව අමු­තු­වෙන් හුවා දක්වන්නේ නැත. ඇත්ත වශ­යෙන්ම පත්ල පහත් බස්වල ප්‍රධාන ප්‍රයෝ­ජන ලබන්නෝ සියලු පොදු මගී­හුය. වැඩි­හි­ටි­යන්, කුඩා දරු­වන් සමඟ ගමන් කරන මවු­ව­රුන්, බර භාණ්ඩ රැගෙන යන පුද්ග­ල­යන් සහ දින­පතා කාර්ය­බ­හුල ජීවි­ත­යක් ගත කරන නග­ර­වා­සීන්ට මෙය විශාල පහ­සු­වක් සල­සයි. බස් නැව­තු­ම්ව­ලදී ගත වන කාලය අඩු වීම, මගීන් ඉක්ම­නින් ගමන් කිරීම සහ නග­රයේ වාහන තද­බ­දය අඩු වීම වැනි ප්‍රති­ලා­භද ලැබේ. එබැ­වින් පත්ල පහත් බස් යනු ‘සියලු දෙනාට වඩා හොඳ බස් සේවා­වක්’ ලෙස අව­බෝධ කර ගැනීම වැද­ගත්ය.

 

කෙසේ වෙතත්, කොළඹ නග­රයේ මේ නිරී­ක්ෂණ වැඩ­ස­ට­හ­නේදී වැඩි­දි­යුණු කර­ගත හැකි කරුණු කිහි­ප­යක් සලකා බැලිය යුතුය. පළ­මුව, මේ සේවාව ‘විල්චෙ­යාර් භාවි­තා­ක­රු­වන් සඳහා’ ලෙස ප්‍රචා­රය කිරීම සීමා­කාරි දැක්මකි. එය ‘මාක­ටින්’ පැත්තේ අවා­සි­යකි. සාමාන්‍ය මගීන් අතර ‘මෙය අපට අදාළ නොවන සේවා­වක්’ යන වැරදි අව­බෝ­ධ­යක් ඇති කළ හැකි. පෙර කී පරිදි පත්ල පහත් බස් යනු අනා­ග­තයේ සියලු නගර බස් සඳහා වන ප්‍රමි­තිය බව පැහැ­දි­ලිව සන්නි­වේ­ද­නය කළ යුතුය.

 

එබැ­වින්, මේ බස් රථ සීමිත බස් නැව­තු­ම්වල පම­ණක් නවතා ගමන් කිරීම, පත්ල පහත් සංක­ල්ප­යට පට­හැ­ණිය. එය ක්‍රමා­නු­කු­ලව වැඩි­දි­යුණු වේ යැයි සිතමි. පත්ල පහත බස්වල මූලික වාසිය වන්නේ ඉක්මන් සහ පහසු මගී හැසි­ර­වීම් ක්‍රියා­ව­ලි­යකි. එබැ­වින් එය සැම සාමාන්‍ය බස් නැව­තු­ම­කම නවතා ගමන් කළ හැකි අතර, කාලය වැඩි වශ­යෙන් වැය නොවේ. ඉස්තා­න්බුල් නග­රයේ අතුරු මාර්ග­වල හැර අන් සියලු ප්‍රවා­හන සේවා රෝද පුටු­ව­ලින් හා ට්‍රොලි තල්ලු කර­ගෙන යා හැකි පරිදි ප්‍රමි­ති­ගත කර ඇත. රාජ්‍ය හා පුද්ග­ලික බස්රථ සියල්ල ඒකා­බද්ධ රාජ්‍ය-පෞද්ග­ලික සමා­ග­ම­කින් මනාව පාල­නය වේ. එබැ­වින් එහි තිබෙන සියලු ප්‍රධාන ප්‍රවා­හන සේවා පත්ල පහත් ඒවාය. මේවා සියලු නැව­තු­ම්වල නතර කරයි. තත්පර තිහක් වැනි කාල­ය­කින් ඒවාට ගොඩ වීමට හා බිමට බැසීමට හැකි නිසා බස් නව­තු­ම්වල ප්‍රමාද වන්නේ නැත.

 

තවද, පත්ල පහත් බස් පද්ධ­තිය සාර්ථක වීමට අවශ්‍ය යටි­තල පහ­සු­කම්, බස් නැව­තුම්, ඒකා­බද්ධ ගෙවීම් ක්‍රම හා අනෙ­කුත් ප්‍රවා­හන සේවා සමඟ සම්බ­න්ධ­තාව සඳහා දිගු­කා­ලීන සැල­සුම් නිර්මා­ණය වෙමින් ඇතැයි සිතමි. පත්ල පහත් බස් හඳුන්වා දීම පම­ණක් ප්‍රමා­ණ­වත් නොවේ. එය බහු­විධ ප්‍රවා­හන පද්ධ­ති­යක් තුළ සම්බන්ධ විය යුතුය. එකම ගෙවීම් ක්‍රම­වේ­ද­යක් මඟින් බස්, දුම්රිය සහ අනා­ගත සැහැල්ලු දුම්රිය හෝ ට්‍රෑම් සේවා එකට සම්බන්ධ කිරීම මෙහි වැද­ගත් පිය­ව­රකි.

 

අව­සා­නයේ, කොළඹ නග­රයේ පත්ල පහත් බස් ආර­ම්භය අගය කළ යුතු නවෝ­ත්පා­දන පිය­ව­රක් වුවද, එය සාර්ථක වීමට නම් පද්ධ­ති­මය දෘෂ්ටි­යක් අවශ්‍ය වේ. නිවැ­රදි සන්නි­වේ­ද­නය, පෞද්ග­ලික අංශ සමඟ සහ­යෝ­ගය සහ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සමඟ මෙය සම්බන්ධ කළ හොත්, මේ වැඩ­ස­ට­හන ශ්‍රී ලංකා­වට සැබෑ ලෙසම ‘සියලු දෙනාට අයත් ප්‍රවා­හ­න­යක්’ කරා යන ගමනේ එක් දූර­දර්ශි පිය­ව­රක් වනු ඇත.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...