මා ජීවත් වන්නේ පොදු ප්‍රවාහනය සියලු අංශවලින් සාර්ථකව ක්‍රියාත්මක වන මහා නගරයකය. එහි ජනගහනය මිලියන දහසයකි. නගරාන්තර දුම්රිය, අධිවේගි දුම්රිය, නගරාන්තර බස් සමඟ හොඳින් සම්බන්ධ කෙරෙන නගරය තුළ දිවෙන මෙට්‍රෝ, ට්‍රෑම්, තමන්ටම වෙන් වූ මංතීරු ඇති මෙට්‍රෝ බස් රථ, මහජන බස් රථ, කුඩා අතුරු මාර්ග භාවිත කරන ග්‍රාමීය බස් රථ ආදියට අමතරව හොඳින් නියාමනය කරන ලද ටැක්සි රථ සේවාවක්ද මෙහි වෙයි. මේ විසල් නගරය හා ප්‍රවාහන පද්ධතියට අන්තර්ජාතික අධිවේගි දුම්රිය මඟක් එකතු කිරීමේ ව්‍යාපෘතියකට මම හවුල් වී සිටිමි. මා දන්නා උසස් රැකියා කරන වෘත්තිකයන් බහුතරය ගමනාගමනය සඳහා තෝරා ගන්නේ මහජන ප්‍රවාහන සේවයයි.
මෙවන් පසුබිමක කොළඹ නගරය තුළ පත්ල පහත් (Low-floor) බස් රථ පද්ධතිය පරීක්ෂණාත්මකව ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්රයට නව දිශාවක් විවර කරන ප්රගතිශීලි පියවරක් ලෙස මම අගය කරමි. මෙය සරල බස් රථයක් හඳුන්වා දීමක් නොව, නගරයේ ගමනාගමන සංස්කෘතියම පරිවර්තනය කිරීමට හැකි සම්පූර්ණ පද්ධතිමය වෙනසක ආරම්භය ලෙස අප දැකිය යුතුය. අප දන්නා පරිදි, මෙවැනි වැඩසටහනක් සාර්ථක වීමට නම් නිවැරදි සන්නිවේදනය, තාක්ෂණික අවබෝධය සහ දිගුකාලීන සැලසුම්කරණය අත්‍යවශ්‍යය.
ඉතිහාසය අනුව පත්ල පහත් බස් සංකල්පය 1970-80 දශකවල යුරෝපයේ වර්ධනය වූ අතර, 1990 දශකය වන විට එය නගර ප්‍රවාහනයේ ප්‍රමිතියක් බවට පත් විය. එය ‘inclusive transport’ හෙවත් ‘සියලු දෙනාට ප්‍රවේශය ඇති ප්‍රවාහනය’ යන අදහස මත පදනම්ව වර්ධනය වූවකි. මෙහි මූලික අදහස වන්නේ බස් රථය භාවිත කිරීමට හැකි වීම සෑම පුද්ගලයකුටම වයස, ශාරීරික හැකියාව හෝ සමාජ තත්ත්වය කෙසේ වුවද සමාන ලෙස ලබා දීමයි.
තාක්ෂණික වශයෙන්, පත්ල පහත් බස් යනු සංකීර්ණ ඉංජිනේරුමය විසඳුමකි. සාමාන්‍ය පඩි නඟින බස්වලදී එංජිම, ට්‍රාන්ස්මිෂන් පද්ධතිය, ඇක්සලය, තෙල් ටැංකිය හා සස්පෙන්ෂන් පද්ධතිය වැනි ප්‍රධාන කොටස් බස් රථයේ තට්ටුවට යටින් ස්ථාපිත කර ඇත. එය බස් රථයේ පඩිපෙළ උස් කරයි. පත්ල පහත බස්වලදී මේ කොටස් නවීන ලෙස හා සූක්ෂ්ම ලෙස නැවත සැලසුම් කර ඇත. එංජිම බොහෝ විට පසුපසට හෝ පැත්තකට ගෙන යන අතර, වායු සස්පෙන්ෂන් මඟින් බස් රථය පහළට නමන ‘පැත්තකට ඇල කිරීමේ යන්ත්‍රණයක්’ සපයයි. මෙය මගීන්ට පහසුවෙන් ගොඩ වීමට හා බැසීමට ඉඩ සලසයි. මේ සියල්ල එකට සම්බන්ධ වූ විට ‘පත්ල පහත්’ බස් යනු ‘උස අඩු බස් රථයක්’ නොව, උපාංග රැසක් නැවත සංවිධානය කර නිර්මාණය කළ නව ඉංජිනේරුමය පද්ධතියක් බව පැහැදිලි වේ.
අපේ රටේදී පත්ල පහත් බස් රථවල හඳුන්වා දීමේ ප්‍රයෝජන ගැන කතා කරන බොහෝ මාධ්‍යවල අවධානය යොමු කර තිබුණේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙතය. එය අතිශයින් වදගත් පියවරක් වන අතර, දියුණු නගරවල ප්‍රවාහනය ඇතුළු සියලු පොදු පහසුකම් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ගැනද සිතා, ඔවුන් මේ සමාජයේම සාමාන්‍ය ජන කොටසක් ලෙස හැඟෙන පරිදි නිර්මාණය කර ඇත. ඒවා අනිවාර්ය හා අත්‍යවශ්‍ය අංග ලෙස සම්මත වී තිබේ. ඒ හැර මේ නගරය, ගොඩනැඟිලි හෝ බස් රථ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා බව අමුතුවෙන් හුවා දක්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම පත්ල පහත් බස්වල ප්‍රධාන ප්‍රයෝජන ලබන්නෝ සියලු පොදු මගීහුය. වැඩිහිටියන්, කුඩා දරුවන් සමඟ ගමන් කරන මවුවරුන්, බර භාණ්ඩ රැගෙන යන පුද්ගලයන් සහ දිනපතා කාර්යබහුල ජීවිතයක් ගත කරන නගරවාසීන්ට මෙය විශාල පහසුවක් සලසයි. බස් නැවතුම්වලදී ගත වන කාලය අඩු වීම, මගීන් ඉක්මනින් ගමන් කිරීම සහ නගරයේ වාහන තදබදය අඩු වීම වැනි ප්‍රතිලාභද ලැබේ. එබැවින් පත්ල පහත් බස් යනු ‘සියලු දෙනාට වඩා හොඳ බස් සේවාවක්’ ලෙස අවබෝධ කර ගැනීම වැදගත්ය.
කෙසේ වෙතත්, කොළඹ නගරයේ මේ නිරීක්ෂණ වැඩසටහනේදී වැඩිදියුණු කරගත හැකි කරුණු කිහිපයක් සලකා බැලිය යුතුය. පළමුව, මේ සේවාව ‘විල්චෙයාර් භාවිතාකරුවන් සඳහා’ ලෙස ප්‍රචාරය කිරීම සීමාකාරි දැක්මකි. එය ‘මාකටින්’ පැත්තේ අවාසියකි. සාමාන්‍ය මගීන් අතර ‘මෙය අපට අදාළ නොවන සේවාවක්’ යන වැරදි අවබෝධයක් ඇති කළ හැකි. පෙර කී පරිදි පත්ල පහත් බස් යනු අනාගතයේ සියලු නගර බස් සඳහා වන ප්‍රමිතිය බව පැහැදිලිව සන්නිවේදනය කළ යුතුය.
එබැවින්, මේ බස් රථ සීමිත බස් නැවතුම්වල පමණක් නවතා ගමන් කිරීම, පත්ල පහත් සංකල්පයට පටහැණිය. එය ක්‍රමානුකුලව වැඩිදියුණු වේ යැයි සිතමි. පත්ල පහත බස්වල මූලික වාසිය වන්නේ ඉක්මන් සහ පහසු මගී හැසිරවීම් ක්‍රියාවලියකි. එබැවින් එය සැම සාමාන්‍ය බස් නැවතුමකම නවතා ගමන් කළ හැකි අතර, කාලය වැඩි වශයෙන් වැය නොවේ. ඉස්තාන්බුල් නගරයේ අතුරු මාර්ගවල හැර අන් සියලු ප්‍රවාහන සේවා රෝද පුටුවලින් හා ට්‍රොලි තල්ලු කරගෙන යා හැකි පරිදි ප්‍රමිතිගත කර ඇත. රාජ්‍ය හා පුද්ගලික බස්රථ සියල්ල ඒකාබද්ධ රාජ්‍ය-පෞද්ගලික සමාගමකින් මනාව පාලනය වේ. එබැවින් එහි තිබෙන සියලු ප්‍රධාන ප්‍රවාහන සේවා පත්ල පහත් ඒවාය. මේවා සියලු නැවතුම්වල නතර කරයි. තත්පර තිහක් වැනි කාලයකින් ඒවාට ගොඩ වීමට හා බිමට බැසීමට හැකි නිසා බස් නවතුම්වල ප්‍රමාද වන්නේ නැත.
තවද, පත්ල පහත් බස් පද්ධතිය සාර්ථක වීමට අවශ්‍ය යටිතල පහසුකම්, බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් ක්‍රම හා අනෙකුත් ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධතාව සඳහා දිගුකාලීන සැලසුම් නිර්මාණය වෙමින් ඇතැයි සිතමි. පත්ල පහත් බස් හඳුන්වා දීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය බහුවිධ ප්‍රවාහන පද්ධතියක් තුළ සම්බන්ධ විය යුතුය. එකම ගෙවීම් ක්‍රමවේදයක් මඟින් බස්, දුම්රිය සහ අනාගත සැහැල්ලු දුම්රිය හෝ ට්‍රෑම් සේවා එකට සම්බන්ධ කිරීම මෙහි වැදගත් පියවරකි.
අවසානයේ, කොළඹ නගරයේ පත්ල පහත් බස් ආරම්භය අගය කළ යුතු නවෝත්පාදන පියවරක් වුවද, එය සාර්ථක වීමට නම් පද්ධතිමය දෘෂ්ටියක් අවශ්‍ය වේ. නිවැරදි සන්නිවේදනය, පෞද්ගලික අංශ සමඟ සහයෝගය සහ යටිතල පහසුකම් සංවර්ධනය සමඟ මෙය සම්බන්ධ කළ හොත්, මේ වැඩසටහන ශ්‍රී ලංකාවට සැබෑ ලෙසම ‘සියලු දෙනාට අයත් ප්‍රවාහනයක්’ කරා යන ගමනේ එක් දූරදර්ශි පියවරක් වනු ඇත.