පසුගිය ලිපියෙන් මම බටහිර කසාක්ස්තානයේ අතිවිශාල ‘තෙංගීස්’ තෙල් නිධිය කේන්ද්‍ර කර ගෙන ගොඩනැඟුණු, සියලු සැපයුම් හා නවාතැන් පහසුකම්වලින් සපිරි මායාකාරි කඳවුරු නගරය ගැන මතකයන් අවදි කළෙමි. එය අපේ නවාතැන්පොළ වුවත්, අපේ සැබෑ රාජකාරි භූමිය තිබුණේ එතැනින් කිලෝමීටර් පනහක් පමණ ඈතින් වූ සජීව තෙල් සහ වායු නිෂ්පාදන කලාපය තුළය. ඒ වැඩබිමට ප්‍රථම වරට ඇතුළු වීමේදී, ඉංජිනේරුවකු ලෙස මා මුහුණ දුන්නේ අතිශය දැඩි ‘ආරක්ෂණ සංස්කෘතියකට’ සහ අදටත් මා විස්මයට පත් කරන පරිගණකගත විනයකටය. එය හුදෙක් කාර්මික නීති මාලාවක් පමණක් නොවීය. එය මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟා තිබුණු, සීමා මායිම් සහිත වෘත්තීය ආචාරධර්ම පද්ධතියකි.
තෙංගීස්හි සේවය කළ පළමු දිනය අදටත් මගේ මතකයේ පැහැදිලිව සටහන්ව තිබේ. එය විදේශ රටක මා වැඩ ආරම්භ කළ පළමු දිනයද විය. පැරණි සෝවියට් යුගයේ ශිෂ්ටාචාරය, බටහිර තාක්ෂණය සහ බහුජාතික ආයතනික විනය එකට මුසු වූ පෙර නොදුටු පරිසරයක් එහි තිබිණි. එහි වූ තවත් සුවිශේෂ ලක්ෂණයක් වූයේ උස්-පහත්කම් හෝ තරාතිරම් නොතකා ඕනෑම කෙනකුට නම කියා අමතන සුහද සංස්කෘතියක් පැවතීමයි. ඒ තුළ නිදහස් මනුෂ්‍ය පෞරුෂයත්, දැඩි වෘත්තීය වගකීමත් මනා අනුපානයෙන් යුතුව පවත්වා ගෙන යනු ලැබිණි.
මා එදින සිතා ගෙන සිටියේ මගේ පුටුවේ වාඩි වූ හැටියේම මට ලැබුණු පරිගණකය විවෘත කර, සැලසුම්, වාර්තා සහ ව්‍යාපෘති ලේඛන පරීක්ෂා කරමින් වහාම රාජකාරිය ආරම්භ කිරීමටය. එහෙත් එහි වූ ආයතනික ක්‍රමවේදය ඊට වඩා බොහෝ වෙනස් සැලැස්මකට අනුගතව සකසා තිබිණි. මුලින්ම මට මුහුණ දීමට සිදු වූයේ වැඩබිම, ව්‍යාපෘතිය සහ සේවා පරිසරය පිළිබඳ කැරෙන සමස්ත හඳුන්වා දීමේ සැසියකටය. ඉන් පසු මා කෙළින්ම යොමු කරනු ලැබුවේ තොරතුරු තාක්ෂණ සදාචාරය සහ විදත් තැපෑල පරිහරණය පිළිබඳ විශේෂ පුහුණුවකටය. එය මීට විසි වසරකට පමණ පෙර සිදු වූවක් වුවද, ඔවුන් එවකටම ඩිජිටල් ආරක්ෂාව සහ තොරතුරු පාලනය ගැන කොතරම් දැඩි අවධානයක් යොමු කර තිබුණේදැයි සිතන විට මවිතයක් දැනේ.
පැය තුනකට ආසන්න කාලයක් පැවති ඒ පුහුණුවෙන් පසු, මට කුඩා ප්‍රශ්න පත්රයකට උත්තර සැපයීමට සිදු විය. ඉනික්බිති සහතිකයක් මට ලැබිණි. ඒ සමඟ පරිගණක පද්ධතියට සහ අභ්‍යන්තර ජාලයට ප්‍රවේශ වීමේ නිල අවසරය හිමි විය. එදා මට වැටහුණේ ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යාපෘතියක තොරතුරු තාක්ෂණ සුරක්ෂිතතාව යනු හුදෙක් පරිගණක ගැටලුවක් නොව, සමස්ත ව්‍යාපෘති කළමනාකරණයේම හදවත බඳු, වැදගත් කොටසක් බවය. අපේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයා එදා මට පැවසූ වදනක් අදටත් මගේ මතකයේ තදින්ම සටහන් වී ඇත:
“තිලකසිරි, මෙතන තියෙන අභ්‍යන්තර පරිගණක ජාලය කියන්නේ මේ ව්‍යාපෘතියේ ස්නායු පද්ධතිය වගේ දෙයක්. මේක හරියට භාවිත කළොත්, එක කඩදාසි කොළයක්වත් නාස්ති නොකර, ලෝකයේ විවිධ රටවල ඉන්න කණ්ඩායම් එකම පද්ධතියකින් සම්බන්ධ කරන්න පුළුවන්; දිනපතා රාජකාරි කළමනාකරණය කර ගන්න පුළුවන්; අලුත් ලිය-කියවිලි හා වාර්තා බෙදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔයාගෙ ඩිජිටල් විනය මුලින්ම පරීක්ෂා කරන්නේ.”
අද කාලයේ ක්ලවුඩ් පරිගණක පද්ධති, දූරස්ථ සන්නිවේදන මෘදුකාංග සහ කෘත්‍රිම බුද්ධි මෙවලම් සාමාන්‍ය භාවිතයේ තිබුණත්, ඒ දිනවලම මෙවැනි දැවැන්ත ව්‍යාපෘති තමන්ගේම අභ්‍යන්තර ඩිජිටල් ජාල හරහා ලෝක මට්ටමේ සන්නිවේදනයන් මැනවින් කළමනාකරණය කරමින් සිටියේය.
එහෙත් සැබෑ භෞතික අභියෝගය හමු වූයේ ඉන් පසුවය. සජීව තෙල් සහ වායු නිෂ්පාදන කලාපයක වැඩ කිරීම යනු, ඕනෑම මොහොතක ගිනි ගැනීම්, වායු කාන්දු වීම් හෝ මහා පිපිරීම් ඇති විය හැකි අවදානම්සහගත පරිසරයක ජීවත් වීමකි. විශේෂයෙන්ම තෙංගීස් වැනි අධික පීඩනයකින් යුතු, විෂ වායුවලින් පිරි තෙල් බිමක, අතිශය විෂ සහිත මාරාන්තික වායූන් පවා තිබිය හැකිය. ඒ නිසාම ආරක්ෂාව එහි හුදු නීතියකට වඩා, ජීවිත රැකීමේ අනිවාර්ය සංස්කෘතියක් බවට පත් කර තිබිණි.
පළමු අදියරේ කාර්යාලීය සහ පරිගණක පුහුණුවෙන් පසු, මට ප්‍රධාන වැඩබිම් කාර්යාලයට යෑමේ අවසරය ලැබිණි. එතැනින් එහාට සැබෑ ඉදිකිරීම් කලාපයට ඇතුළු වීමට නම්, දෙවැනි අදියරේ තාක්ෂණික ආරක්ෂණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ යුතු විය. එහිදී අපට ගින්නෙන් ආරක්ෂා වන විශේෂ සේවා ඇඳුම්, ආරක්ෂිත සපත්තු, හිස්වැසුම්, ආරක්ෂිත ඇස් කණ්ණාඩි සහ වායු අනාවරක උපකරණ නිවැරදිව භාවිත කරන ආකාරය හා අනාරක්ෂිත තත්ත්ව හඳුනා ගෙන වාර්තා කරන අන්දම ගැන ඉතා සියුම්ව තේරුම් කර දෙනු ලැබිණි. හදිසි අනතුරකදී සියල්ලන්ම එකතු විය යුතු ආරක්ෂිත ස්ථාන වෙත යන ආකාරය, අනතුරු ඇඟවීමේ සංඥා නාද හඳුනා ගැනීම, හදිසි ඉවත් කිරීමේ පියවර සහ සංවෘත පටු අවකාශයන් තුළ වැඩ කිරීමේ රෙගුලාසි පවා අපට ප්‍රායෝගිකව පුහුණු කරවනු ලැබිණි.
එය නිම වූ පසු, අපට පොදු ඉදිකිරීම් කලාපවලට ඇතුළු වීමට අවසර හිමි විය. එහෙත් වඩාත්ම සංවේදි සහ බරපතළ කලාපය වූයේ සජීව තෙල් නිෂ්පාදන කලාපයයි. එහි තාක්ෂණික මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට නම්, දින කිහිපයක් පුරා පැවැත්වෙන විශේෂිත ආරක්ෂණ පුහුණුවක් ලැබීම අනිවාර්ය විය. ඒ දැඩි පුහුණුවෙන් සමත් වූ සීමිත පිරිසකට පමණක්, ආරක්ෂක නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ ඒ පාලිත කලාපවලට ඇතුළු වීමට අවසර ලැබිණි. බොහෝ විට අපේ ඉදිකිරීම් කටයුතු සිදු වූයේ එම සජීව කලාපයට පිටතින් වුවද, එහි ආරක්ෂණ සංස්කෘතියේ දැඩි බලපෑම මුළු ව්‍යාපෘතියම සම්පූර්ණයෙන් වසාගෙන තිබිණි.
එදා තෙංගීස්හිදී මා ඉගෙනගත් ලොකුම පාඩම වූයේ ‘ආරක්ෂාව’ යනු දැන්වීම් පුවරුවක ලියා ඇති හුදු ආදර්ශ පාඨයක් නොවන බවයි. සමහර තැන්වල ‘ආරක්ෂාව ප්‍රථමයෙන්’ යන පුවරු වැඩබිම්වල දකින්න ලැබුණත්, ඒවා සමහර විට බාහිර පරීක්ෂකවරයකුට පෙන්වීම සඳහා වූ ආටෝපකාරි රංගනයක් පමණි. එහෙත් තෙංගීස්හිදී ආරක්ෂාව යනු ජීවිතය සමඟ බද්ධ වූ අව්‍යාජ සංස්කෘතියක් විය.
එහි සාමාන්‍ය ආරක්ෂක නිලධාරීන්ට අමතරව, අප ව්‍යාපෘති කණ්ඩායමේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෝද සිටියහ. ඔවුන්ගෙන් ඕනෑම කෙනකුට, යම් කාර්යයක් අනාරක්ෂිත බව හැඟී ගිය හොත් එය වහා ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමේ නිෂේධ බලය තිබිණි. අද ලෝකයේ බොහෝ තෙල් සහ වායු ව්‍යාපෘතිවල භාවිත වන ‘වැඩ නැවැත්වීමේ අධිකාරිය’ නම් වූ සංකල්පය එහිදී ක්‍රියාත්මක වූයේ ඉතා දැඩිවය. අපේ වැඩබිමේ ප්‍රධාන ආදර්ශ පාඨය වූයේද මෙයයි: ‘එය ආරක්ෂිතව කරන්න. නැත හොත් එය කිසි සේත්ම නොකර සිටින්න.’
අදටත් මට ඒ වැකිය සිහිපත් වන විට, එය තෙල් වැඩබිමකට පමණක් නොව; සමස්ත ඉදි කිරීම් අංශයටම එක සේ ගැළපෙන අගනා පිළිවෙතක් බැව් සිතේ. තෙංගීස්හිදී මා දුටු ඒ ආරක්ෂණ සංස්කෘතිය සහ පරිගණකගත විනය, තාක්ෂණය, ධනය සහ මිනිස් ජීවිතය අතර පැවතිය යුතු සැබෑ ශිෂ්ටසම්පන්න සබඳතාව මට මැනවින් කියා දුන්නේය. තාක්ෂණය කොතරම් දියුණු වුවද, ධනය කොතරම් ගලා ආවද, මිනිස් ජීවිතයට දෙන වටිනාකම සහ ඒ වෙනුවෙන් ගොඩනැඟූ ආයතනික විනය ශක්තිමත් නැති නම්, ඒ සංවර්ධනයේ කිසිදු අරුතක් නැත. අපට ලැබෙන තෙල් බින්දුවක් හෝ තාක්ෂණ නිර්මාණයක් පිටුපස මෙවැනි බොහෝ දෙනා නුදුටු කතාවක්ද ඇත.
තෙංගීස් තෙල් නිධියේ පුද්ගලයාට වඩා පද්ධතිය ප්‍රමුඛ වූ, සේවා අඛණ්ඩතාව සුරැකි ‘මුර ක්‍රමයේ’ අපූර්වත්වය හා කසාක්ස්තානයේ ආදායම් පංගුව බේරා ගැනීමට එරට මුලාදෑනීන් කටයුතු කළ ප්‍රශස්ත ආකාරය ගැන, ඉදිරි ලිපියෙන් තව දුරටත් කතා කරමු.