තෙල් නිස්සා­රණ වැඩ­බි­මක සුපිරි පිළි­වෙත්

පසු­ගිය ලිපි­යෙන් මම බට­හිර කසා­ක්ස්තා­නයේ අති­වි­ශාල ‘තෙංගීස්’ තෙල් නිධිය කේන්ද්‍ර කර ගෙන ගොඩ­නැ­ඟුණු, සියලු සැප­යුම් හා නවා­තැන් පහ­සු­ක­ම්ව­ලින් සපිරි මායා­කාරි කඳ­වුරු නග­රය ගැන මත­ක­යන් අවදි කළෙමි. එය අපේ නවා­තැ­න්පොළ වුවත්, අපේ සැබෑ රාජ­කාරි භූමිය තිබුණේ එතැ­නින් කිලෝ­මී­ටර් පන­හක් පමණ ඈතින් වූ සජීව තෙල් සහ වායු නිෂ්පා­දන කලා­පය තුළය. ඒ වැඩ­බි­මට ප්‍රථම වරට ඇතුළු වීමේදී, ඉංජි­නේ­රු­වකු ලෙස මා මුහුණ දුන්නේ අති­ශය දැඩි ‘ආර­ක්ෂණ සංස්කෘ­ති­ය­කට’ සහ අද­ටත් මා විස්ම­යට පත් කරන පරි­ග­ණ­ක­ගත වින­ය­ක­ටය. එය හුදෙක් කාර්මික නීති මාලා­වක් පම­ණක් නොවීය. එය මිනිස් ජීවි­තය ආරක්ෂා කිරීම සඳහා ගොඩ­නඟා තිබුණු, සීමා මායිම් සහිත වෘත්තීය ආචා­ර­ධර්ම පද්ධ­ති­යකි.

 

තෙංගීස්හි සේවය කළ පළමු දිනය අද­ටත් මගේ මත­කයේ පැහැ­දි­ලිව සට­හන්ව තිබේ. එය විදේශ රටක මා වැඩ ආරම්භ කළ පළමු දින­යද විය. පැරණි සෝවි­යට් යුගයේ ශිෂ්ටා­චා­රය, බට­හිර තාක්ෂ­ණය සහ බහු­ජා­තික ආය­ත­නික විනය එකට මුසු වූ පෙර නොදුටු පරි­ස­ර­යක් එහි තිබිණි. එහි වූ තවත් සුවි­ශේෂ ලක්ෂ­ණ­යක් වූයේ උස්-පහ­ත්කම් හෝ තරා­ති­රම් නොතකා ඕනෑම කෙන­කුට නම කියා අම­තන සුහද සංස්කෘ­ති­යක් පැව­තී­මයි. ඒ තුළ නිද­හස් මනුෂ්‍ය පෞරු­ෂ­යත්, දැඩි වෘත්තීය වග­කී­මත් මනා අනු­පා­න­යෙන් යුතුව පවත්වා ගෙන යනු ලැබිණි.

 

මා එදින සිතා ගෙන සිටියේ මගේ පුටුවේ වාඩි වූ හැටි­යේම මට ලැබුණු පරි­ග­ණ­කය විවෘත කර, සැල­සුම්, වාර්තා සහ ව්‍යාපෘති ලේඛන පරීක්ෂා කර­මින් වහාම රාජ­කා­රිය ආරම්භ කිරී­ම­ටය. එහෙත් එහි වූ ආය­ත­නික ක්‍රම­වේ­දය ඊට වඩා බොහෝ වෙනස් සැලැ­ස්ම­කට අනු­ග­තව සකසා තිබිණි. මුලින්ම මට මුහුණ දීමට සිදු වූයේ වැඩ­බිම, ව්‍යාපෘ­තිය සහ සේවා පරි­ස­රය පිළි­බඳ කැරෙන සමස්ත හඳුන්වා දීමේ සැසි­ය­ක­ටය. ඉන් පසු මා කෙළින්ම යොමු කරනු ලැබුවේ තොර­තුරු තාක්ෂණ සදා­චා­රය සහ විදත් තැපෑල පරි­හ­ර­ණය පිළි­බඳ විශේෂ පුහු­ණු­ව­ක­ටය. එය මීට විසි වස­ර­කට පමණ පෙර සිදු වූවක් වුවද, ඔවුන් එව­ක­ටම ඩිජි­ටල් ආර­ක්ෂාව සහ තොර­තුරු පාල­නය ගැන කොත­රම් දැඩි අව­ධා­න­යක් යොමු කර තිබු­ණේ­දැයි සිතන විට මවි­ත­යක් දැනේ.

 

පැය තුන­කට ආසන්න කාල­යක් පැවති ඒ පුහු­ණු­වෙන් පසු, මට කුඩා ප්‍රශ්න පත්‍ර­ය­කට උත්තර සැප­යී­මට සිදු විය. ඉනි­ක්බිති සහ­ති­ක­යක් මට ලැබිණි. ඒ සමඟ පරි­ග­ණක පද්ධ­ති­යට සහ අභ්‍ය­න්තර ජාල­යට ප්‍රවේශ වීමේ නිල අව­ස­රය හිමි විය. එදා මට වැට­හුණේ ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යාපෘ­ති­යක තොර­තුරු තාක්ෂණ සුර­ක්ෂි­ත­තාව යනු හුදෙක් පරි­ග­ණක ගැට­ලු­වක් නොව, සමස්ත ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණ­යේම හද­වත බඳු, වැද­ගත් කොට­සක් බවය. අපේ තොර­තුරු තාක්ෂණ උප­දේ­ශ­ක­ව­රයා එදා මට පැවසූ වද­නක් අද­ටත් මගේ මත­කයේ තදින්ම සට­හන් වී ඇත:

 

“තිල­ක­සිරි, මෙතන තියෙන අභ්‍ය­න්තර පරි­ග­ණක ජාලය කියන්නේ මේ ව්‍යාපෘ­තියේ ස්නායු පද්ධ­තිය වගේ දෙයක්. මේක හරි­යට භාවිත කළොත්, එක කඩ­දාසි කොළ­ය­ක්වත් නාස්ති නොකර, ලෝකයේ විවිධ රට­වල ඉන්න කණ්ඩා­යම් එකම පද්ධ­ති­ය­කින් සම්බන්ධ කරන්න පුළු­වන්; දින­පතා රාජ­කාරි කළ­ම­නා­ක­ර­ණය කර ගන්න පුළු­වන්; අලුත් ලිය-කිය­විලි හා වාර්තා බෙදා ගන්න පුළු­වන්. ඒ නිසා තමයි ඔයාගෙ ඩිජි­ටල් විනය මුලින්ම පරීක්ෂා කරන්නේ.”

 

අද කාලයේ ක්ලවුඩ් පරි­ග­ණක පද්ධති, දූරස්ථ සන්නි­වේ­දන මෘදු­කාංග සහ කෘත්‍රිම බුද්ධි මෙව­ලම් සාමාන්‍ය භාවි­තයේ තිබු­ණත්, ඒ දින­ව­ලම මෙවැනි දැවැන්ත ව්‍යාපෘති තම­න්ගේම අභ්‍ය­න්තර ඩිජි­ටල් ජාල හරහා ලෝක මට්ටමේ සන්නි­වේ­ද­න­යන් මැන­වින් කළ­ම­නා­ක­ර­ණය කර­මින් සිටි­යේය.

 

එහෙත් සැබෑ භෞතික අභි­යෝ­ගය හමු වූයේ ඉන් පසු­වය. සජීව තෙල් සහ වායු නිෂ්පා­දන කලා­ප­යක වැඩ කිරීම යනු, ඕනෑම මොහො­තක ගිනි ගැනීම්, වායු කාන්දු වීම් හෝ මහා පිපි­රීම් ඇති විය හැකි අව­දා­න­ම්ස­හ­ගත පරි­ස­ර­යක ජීවත් වීමකි. විශේ­ෂ­යෙන්ම තෙංගීස් වැනි අධික පීඩ­න­ය­කින් යුතු, විෂ වායු­ව­ලින් පිරි තෙල් බිමක, අති­ශය විෂ සහිත මාරා­න්තික වායූන් පවා තිබිය හැකිය. ඒ නිසාම ආර­ක්ෂාව එහි හුදු නීති­ය­කට වඩා, ජීවිත රැකීමේ අනි­වාර්ය සංස්කෘ­ති­යක් බවට පත් කර තිබිණි.

 

පළමු අදි­යරේ කාර්යා­ලීය සහ පරි­ග­ණක පුහු­ණු­වෙන් පසු, මට ප්‍රධාන වැඩ­බිම් කාර්යා­ල­යට යෑමේ අව­ස­රය ලැබිණි. එතැ­නින් එහාට සැබෑ ඉදි­කි­රීම් කලා­ප­යට ඇතුළු වීමට නම්, දෙවැනි අදි­යරේ තාක්ෂ­ණික ආර­ක්ෂණ පුහු­ණුව සාර්ථ­කව සම්පූර්ණ කළ යුතු විය. එහිදී අපට ගින්නෙන් ආරක්ෂා වන විශේෂ සේවා ඇඳුම්, ආර­ක්ෂිත සපත්තු, හිස්වැ­සුම්, ආර­ක්ෂිත ඇස් කණ්ණාඩි සහ වායු අනා­ව­රක උප­ක­රණ නිවැ­ර­දිව භාවිත කරන ආකා­රය හා අනා­ර­ක්ෂිත තත්ත්ව හඳුනා ගෙන වාර්තා කරන අන්දම ගැන ඉතා සියුම්ව තේරුම් කර දෙනු ලැබිණි. හදිසි අන­තු­ර­කදී සිය­ල්ලන්ම එකතු විය යුතු ආර­ක්ෂිත ස්ථාන වෙත යන ආකා­රය, අන­තුරු ඇඟ­වීමේ සංඥා නාද හඳුනා ගැනීම, හදිසි ඉවත් කිරීමේ පිය­වර සහ සංවෘත පටු අව­කා­ශ­යන් තුළ වැඩ කිරීමේ රෙගු­ලාසි පවා අපට ප්‍රායෝ­ගි­කව පුහුණු කර­වනු ලැබිණි.

 

එය නිම වූ පසු, අපට පොදු ඉදි­කි­රීම් කලා­ප­ව­ලට ඇතුළු වීමට අව­සර හිමි විය. එහෙත් වඩාත්ම සංවේදි සහ බර­ප­තළ කලා­පය වූයේ සජීව තෙල් නිෂ්පා­දන කලා­ප­යයි. එහි තාක්ෂ­ණික මෙහෙ­යුම් මධ්‍ය­ස්ථාන වෙත ඇතුළු වීමට නම්, දින කිහි­ප­යක් පුරා පැවැ­ත්වෙන විශේ­ෂිත ආර­ක්ෂණ පුහු­ණු­වක් ලැබීම අනි­වාර්ය විය. ඒ දැඩි පුහු­ණු­වෙන් සමත් වූ සීමිත පිරි­ස­කට පම­ණක්, ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ ඒ පාලිත කලා­ප­ව­ලට ඇතුළු වීමට අව­සර ලැබිණි. බොහෝ විට අපේ ඉදි­කි­රීම් කට­යුතු සිදු වූයේ එම සජීව කලා­ප­යට පිට­තින් වුවද, එහි ආර­ක්ෂණ සංස්කෘ­තියේ දැඩි බල­පෑම මුළු ව්‍යාපෘ­ති­යම සම්පූ­ර්ණ­යෙන් වසා­ගෙන තිබිණි.

 

එදා තෙංගී­ස්හිදී මා ඉගෙ­න­ගත් ලොකුම පාඩම වූයේ ‘ආර­ක්ෂාව’ යනු දැන්වීම් පුව­රු­වක ලියා ඇති හුදු ආදර්ශ පාඨ­යක් නොවන බවයි. සම­හර තැන්වල ‘ආර­ක්ෂාව ප්‍රථ­ම­යෙන්’ යන පුවරු වැඩ­බි­ම්වල දකින්න ලැබු­ණත්, ඒවා සම­හර විට බාහිර පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට පෙන්වීම සඳහා වූ ආටෝ­ප­කාරි රංග­න­යක් පමණි. එහෙත් තෙංගී­ස්හිදී ආර­ක්ෂාව යනු ජීවි­තය සමඟ බද්ධ වූ අව්‍යාජ සංස්කෘ­ති­යක් විය.

 

එහි සාමාන්‍ය ආර­ක්ෂක නිල­ධා­රීන්ට අම­ත­රව, අප ව්‍යාපෘති කණ්ඩා­යමේ ආර­ක්ෂක කවු­න්සි­ලයේ සාමා­ජි­ක­යෝද සිටි­යහ. ඔවු­න්ගෙන් ඕනෑම කෙන­කුට, යම් කාර්ය­යක් අනා­ර­ක්ෂිත බව හැඟී ගිය හොත් එය වහා ක්‍රියා­ත්මක වන පරිදි නතර කිරීමේ නිෂේධ බලය තිබිණි. අද ලෝකයේ බොහෝ තෙල් සහ වායු ව්‍යාපෘ­ති­වල භාවිත වන ‘වැඩ නැවැ­ත්වීමේ අධි­කා­රිය’ නම් වූ සංක­ල්පය එහිදී ක්‍රියා­ත්මක වූයේ ඉතා දැඩි­වය. අපේ වැඩ­බිමේ ප්‍රධාන ආදර්ශ පාඨය වූයේද මෙයයි: ‘එය ආර­ක්ෂි­තව කරන්න. නැත හොත් එය කිසි සේත්ම නොකර සිටින්න.’

 

අද­ටත් මට ඒ වැකිය සිහි­පත් වන විට, එය තෙල් වැඩ­බි­ම­කට පම­ණක් නොව; සමස්ත ඉදි කිරීම් අංශ­ය­ටම එක සේ ගැළ­පෙන අගනා පිළි­වෙ­තක් බැව් සිතේ. තෙංගී­ස්හිදී මා දුටු ඒ ආර­ක්ෂණ සංස්කෘ­තිය සහ පරි­ග­ණ­ක­ගත විනය, තාක්ෂ­ණය, ධනය සහ මිනිස් ජීවි­තය අතර පැව­තිය යුතු සැබෑ ශිෂ්ට­ස­ම්පන්න සබ­ඳ­තාව මට මැන­වින් කියා දුන්නේය. තාක්ෂ­ණය කොත­රම් දියුණු වුවද, ධනය කොත­රම් ගලා ආවද, මිනිස් ජීවි­ත­යට දෙන වටි­නා­කම සහ ඒ වෙනු­වෙන් ගොඩ­නැඟූ ආය­ත­නික විනය ශක්ති­මත් නැති නම්, ඒ සංව­ර්ධ­නයේ කිසිදු අරු­තක් නැත. අපට ලැබෙන තෙල් බින්දු­වක් හෝ තාක්ෂණ නිර්මා­ණ­යක් පිටු­පස මෙවැනි බොහෝ දෙනා නුදුටු කතා­වක්ද ඇත.

 

තෙංගීස් තෙල් නිධියේ පුද්ග­ල­යාට වඩා පද්ධ­තිය ප්‍රමුඛ වූ, සේවා අඛ­ණ්ඩ­තාව සුරැකි ‘මුර ක්‍රමයේ’ අපූ­ර්ව­ත්වය හා කසා­ක්ස්තා­නයේ ආදා­යම් පංගුව බේරා ගැනී­මට එරට මුලා­දෑ­නීන් කට­යුතු කළ ප්‍රශස්ත ආකා­රය ගැන, ඉදිරි ලිපි­යෙන් තව දුර­ටත් කතා කරමු.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...