මින් වසර කිහිපයකට පෙර ඉදි කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය යනු දුම්රියක් නොවේ.’ ඔබට මෙවැන්නක් අසන්නට ලැබුණොත් මවිතයට පත් නොවේවිද? ඇත්තෙන්ම ‘දුම්රිය’ යන වචනය අප පොදුවේ ‘ට්‍රේන්’ හෝ ‘රේල්’ ලෙස හඳුන්වන ප්‍රවාහන මාධ්‍යයට සුදුසු නොවේ. අනෙක් අතට රේල් හා ට්‍රේන් යනු දෙවර්ගයකි. ගැල් පෙළක් වන් වාහනයක් ‘ට්‍රේන්’ වන අතර, එහි මාර්ග පද්ධතිය ‘රේල්’ වෙයි. කොළඹ සැහැල්ලු දුම්රිය ඒ අනුව දුම් දමමින් යන රියක් නොව, රේල් මඟක් ඔස්සේ මිනිසුන් සංචලනය කරන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මාධ්‍යයකි. මෙනයින් ගත් කල ‘මෙට්‍රෝ දුම්රිය’ හෝ ‘ට්‍රෑම් දුම්රිය’ යනුවෙන් හැඳින්වෙන වාහනද ‘මෙට්‍රෝ’ හෝ ‘ට්‍රෑම්’ ලෙස පමණක් හැඳින්වීම වඩාත් තාර්කිකය. එහෙත් දැන් අපට එම වචනවලින් ගැලවීමට නොහැකිය.

















